අමෙරිකා එක්සත් ජනපදය අප රටට පනවා ඇති බදු ප්‍රතිපත්ති වැනි ජාත්‍යන්තරයෙන් එල්ල වන අභියෝගවලට මුහුණදීමට නම් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමල නගර සභා ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සඳහා තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ හමුවකින් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“උතුරු නැඟෙනහිර පළාත් පාලන අපේක්ෂකයන් සමඟ පවත්වන සිවු වැනි රැස්වීම අද පැවැත්වුවා. එක්සත් ජාතික පක්ෂය මුළු ලංකාව පුරාම අලියා ලකුණ යටතේ තරග කරනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අපට ශක්තිමත් අපේක්ෂකයන් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය අතර ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරුන් ඉන්නවා. තරග කළ පැරණි අපේක්ෂකයන් ඉන්නවා.
විශේෂයෙන් අපි එක දෙයක් මතක තබාගත යුතුයි. මීට අවුරුදු දෙකහමාරකට පෙර දරුණු ආර්ථික අර්බුදයකට ලක්වු රට රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේ තත්ත්වයට ගෙනැවිත් තිබෙන්නේ.
අමෙරිකා එක්සත් ජනපදය අපේ රටට විශාල බදු ප්‍රමාණයක් පනවා තිබෙනවා. මුළු ලෝකයේම රටවල් දිහා බැලුවාම රටවල් හතරකට පහකට තමයි මේ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ මහතා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශයක් කළා, අමෙරිකාව විසින් පනවන්න නියමිතව තිබෙන මේ බදු ප්‍රතිපත්තිය ගැන සහ එයින් මුළු ලෝකයටම එල්ල වන බලපෑම.
විශේෂයෙන්ම රජයක වගකීම තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රථම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව හොඳ අධ්‍යයනයකින් කටයුතු කිරීම. ඒ සඳහා ජාත්‍යන්තර හැසිරවීම පිළිබඳ පළපුරුද්ද සහ අත්දැකීම වැදගත් වෙනවා.
ඒ නිසයි මෝදි අගමැතිවරයා අපේ රටට පැමිණීම ඉතා වැදගත් කියලා රනිල් වික්‍රමසිංහ මහතා මුලදීම ප්‍රකාශ කළේ . මෝදි අගමැතිවරයා 2019දීත් අපේ රටට ආවා. ඇතැම් කොටස් එතුමා පැමිණෙනකොට ඒ අවස්ථාවේ විරෝධය දැක්වුවා. අපට ප්‍රශ්නයක් වුණාම හැමදාම උදව් උපකාර කරන රාජ්‍යයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහතාත් මෝදි අගමැතිවරයාත් රාජ්‍යතාන්ත්‍රිකව අත්සන් තබා ඇති ගිවිසුම් ආරක්ෂා කරගත යුතුයි. අපි බිලියන 2ක පමණ ආයෝජන සඳහා ඉන්දියානු රාජ්‍ය සමඟ ගිවිසුම්ගත වෙලා තිබෙනවා. ඒවා ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි.”
මෙහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මියත් අදහස් දැක්වූහ.