Home » ලංකාවෙන් මියන්මාරයට ගිය සහන සේවා කණ්ඩායම මෙහෙයුම් අරඹයි

ලංකාවෙන් මියන්මාරයට ගිය සහන සේවා කණ්ඩායම මෙහෙයුම් අරඹයි

by chanaka
April 8, 2025 5:11 pm 0 comment

ගිණිකොනදිග ආසියාතික රටවලට පසුගියදා බලපෑ භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියන්මාර රාජ්‍යයේ ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ආපදා සහන සේවා සැලසීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායමක් මේ වනවිට මියන්මාරයේ ස්ථානගත කොට ඇත.

ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වීමෙන් අනතුරුව, එදිනම කිලෝමීටර් 450 ක් පමණ දුරින් පිහිටි ආපදා කලාපය වෙත යොමු කරනු ලැබූ අතර, ඔවුන් මේ වන විටනේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ ස්ථානගත කර ඇත. ඊයේ (07) දින ඔවුන් එරට ප්‍රාදේශීය පරිපාලන ආයතන වල ද සහයෝගයෙන් ජංගම වෛද්‍ය සායන දෙකක් පැවැත්වීම සඳහා පොබ්බා තිරි (Pobba Thiri) නගරය වෙත ස්ථානගත කොට ඇත.

පොබ්බා තිරි (Pobba Thiri) නගරය වෙත ළඟා වීමෙන් පසු, හදිසි වෛද්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා තත්ව විශ්ලේෂණයක් හා ආපදා තක්සේරුවක් කඩිනමින් සිදු කිරීමට කණ්ඩායම කටයුතු කළ අතර, එතැන් පටන් ජනතාවට වෛද්‍ය සේවා සැපයීම ආරම්භ කර ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන්; අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම, තුවාල වලට ප්‍රතිකාර කිරීම මෙන්ම ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ප්‍රජා සෞඛ්‍ය හා මානසික යහපැවැත්මට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් විසින් මෙහිදී දක්වනු ලැබූ කාර්යශුරත්වය, ඉක්මන් ප්‍රතිචාර, වෘත්තීයභාවය සහ මනුෂ්‍යත්වය සඳහා වූ නොසැලෙන කැපවීම මියන්මාර ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හා ප්‍රශංසාවට ලක් වී ඇත. අර්බුදකාරී තත්ත්වයන්හි දී කලාපීය සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ මනාව පිළිබිඹු කරයි.

මෙම ආපදා සහන මෙහෙයුම් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන අතර,පවතින අවශ්‍යතාවන්ට අනුව කාලෝචිත හා වඩාත් ඵලදායී අයුරින් අවශ්‍ය ආධාර සැපයීමට ශ්‍රී ලාංකික කණ්ඩායමට ඇති හැකියාව පෙන්නුම් කරමින් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ඉදිරියටද ලබා දෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT