හුංගම හාතාගල විවේකාරාම විහාරස්ථානය ජලයෙන් යටවීම හේතුවෙන් විහාරාධිපති හිමියන් ඇතුළු නේවාසික හිමිවරු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පෙර දින ඇති වූ මහවැසි හේතුවෙන් කච්චිගල්ආර වැව උතුරා ජලයෙන් යටවීම හා ජලය බැස යෑමට නිසි පරිදි ඇළ මාර්ග සකස් කර නොතිබීම හේතුවෙන් හාතාගල විවේකාරම විහාරස්ථානය ජලයෙන් යටවී ඇති බව හුංගම හාතාගල විවේකාරාම විහාරාධිපති හෙල්ලල චන්ද්රසාර හිමියෝ පවසති.
‘‘කච්චිගල්ආර වැව මීට පෙර උතුරා ගියත් අපේ පන්සල මෙලෙස ජලයෙන් යටවූයේ නැහැ. පන්සල ජලයෙන් යටවීමට එකම හේතුව අවිධිමත් ලෙස ඇළ වේලි සංවර්ධනය කිරීමයි. මිණිඇතිලිය පාලම ආසන්නයෙන් ජලය බැස යෑමට ඇති බෝක්කුව නිසි ලෙස ප්රමාණවත් නෑ. විහාරස්ථානයට ප්‍රවේශ වීමට ඇති කොන්ක්‍රීට් යෙදූ මාර්ගයේ නිසි ලෙස සපත්තු බෝක්කුවක් සකස් කර තිබුණා නම් මේ ජල ගැලීම් තත්ත්වය ඇතිවන්නේ නැහැ. දෙපස ඇති වෙල්යායට ජලය ගලා යෑමට තිබුණා. ජලය ගලා යෑමට පහසුකම් නැති නිසා පන්සල ජලයෙන් යටවෙලා. මම ඊයේ රාත්‍රී පිරිතකට වැඩියා, අලුයම් කාලයේ පන්සලට නැවත පැමිණෙන විට පන්සල ජලයෙන් යටවෙලා. දාන ශාලාව, ආවාස ගෙය, ධර්ම ශාලාව, ඇතුළු විහාරංග ජලයෙන් යටවෙලා. ජලය බැස යෑමට පුළුවන් ආකාරයෙන් කානු පද්ධතිය සකස් කිරීම සිදු කළ යුතුයි. ඇළවේලි නිසි ලෙස සකස් කිරීම සිදු කරන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි විහාරාධිපති හෙල්ලල චන්ද්රසාර හිමියෝ පැවසූහ.