එක මිටට ගොවිබිමට වැඩසටහනට සමගාමීව බෙම්බුල්ල ගොවිජන සේවා බලප්රදේශයේ දඩගමුව හල්ගම්පිටිය වෙල්යායේ වප්මඟුල් උත්සවය ඊයේ (07) උත්සවාකාරයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආරම්භ කෙරිණි.
බෙම්මුල්ල ගොවිජන සේවා ප්රාදේශීය නිලධාරි සුනිල් සාන්ත වැලිකුඹුර මහතාගේ මෙහෙයවීම යටතේ ඒපාමුල, දඩගමුව ගොවි සංවිධානය විසින් මෙම වප්මඟුල් උත්සවයේ කටයුතු සංවිධානය කර තිබිණි.
දඩගමුව රාජමහා විහාරවාසී කරදෙටියන ගුණානන්ද හිමියෝ මෙහිදී ආගමික වතාවත් සිදු කළ අතර, ඉන් අනතුරුව දේව කන්නලව්වක් සහ දේව පූජාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබිණි. හෙළ සිරිතට මුල් තැන දෙමින් ගව බාන් කිහිපයක් යොදාගෙන සීසෑමේ කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, වර්තමාන ක්රමයට සමගාමීව ට්‍රැක්ටර් රථ යොදා ගැනීමට ද කටයුතු යොදා තිබිණි.
මේ යටතේ අක්කර සිය ගණනක් අස්වැද්දීමට නියමිතය.
ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ කසුන්දරී දිසානායක මහත්මිය, ගොවිජන සේවා ප්රාදේශීය නිලධාරී සුනිල් සාන්ත වැලිකුඹුර මහතා ඇතුළු නිලධාරීහු සමඟ ප්රදේශයේ ගොවීහු විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගිව සිටියහ.