ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (07) භාරදුන් “ජන හා නිවාස සංගණන 2024” වාර්තාවේ සඳහන්ය.
මෙරට ජනගහනයේ වර්ධන වේගයේ අනුපාතය අඩුවීමක් දක්නට ඇතත් ජනගහනය වර්ධනය වන බව ද මෙම සංගණන වාර්තවේ දැක්වේ.
මෙම සංගණය අදියර කිහිපයක් යටතේ සිදුව තිබේ. පළමු අදියර ලෙස සිතියම් සකස් කිරීම 2016 සිට 2020 දක්වා සිදුකර ඇත. දෙවැනි අදියර 2023 වසරේ ඔක්තෝබර් සිට 2024 වසරේ ජනවාරි දක්වා ගොඩනැඟිලි සහ සංගණන ඒකක ලැස්තුගත කර තිබේ. ගණන් ගැනීමේ අදියරය 2024 වසරේ ඔක්තෝබර් 07 වැනිදා ආරම්භකරනු ලැබීය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැරුණු කොට සෙසු දිස්ත්‍රික් 23ම සැලසුම්කළ පරිදි ගණනය කිරීම් සිදුකර තිබේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල පැවති නාගරික සංකීර්ණතා හේතුවෙන් මෙම වසරේ පෙබරවාරි දෙවැනි සතිය දක්වා ගණන් කිරීම් සිදුවූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙරට ඉතිහාසයේ 1871 වසරේදී සිදුකළ මුල්ම සංගණනයෙන් පසු මෙවර සිදුව ඇත්තේ 15 වැනි සංගණනය බව ද සඳහන්ය. ඊට අනුව 2012 වසරේ සංගණනය හා සාපේක්ෂව සැසඳීමේදී මෙවර ශ්‍රී ලංකාවේ ජනගහනය 1,403,731ක වැඩිවීමකි.
එම වාර්තාව පෙන්වා දෙන අකාරයට අනුව 2001-2012 අන්තර් සංගණන කාල පරිච්ජේදය සැලකූවිට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.7කි. මෙවර 2012- 2024 අන්තර් සංගණන කාලපරිච්චේදය සැලකූ විට ජනගහනයේ වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.5කි. 1871 වසරේ සිට මෙතෙක් ඉතිහාසයේ අඩුම වාර්ෂික වර්ධන අනුපාතයක් පෙන්නුම් කරනු ලබන්නේ මෙවරය. මේ කාලය තුළ වැඩිම වාර්ෂික වර්ධන අනුපාතයක් වාර්තා වී ඇත්තේ 1953දී කළ සංගණනයේදීය. එම අනුපාතය සියයට 2.8කි.
ශ්‍රී ලංකාවේ ජනගහනයේ වර්ධන වේගය මෙවර දත්තයන්ට අනුව අඩු වූවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බව ද සංගණනයේ දී පෙනී ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකූ විට මුළු ජනගහනයෙන් වැඩි පිරිසක් පදිංචිව සිටින්නේ බස්නාහිර පළාතේය. එම ප්‍රමාණය සියයට 28.1කි. අඩුම ජනගහනයක් පදිංචිව සිටින්නේ උතුරු පළාතේය. එම ප්‍රමාණය සියයට 5.3.
සංගණන වාර්තාවට අනුව වැඩිම ජනගහනයක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 2,433,685කි. දෙවැනියට වැඩිම ජනගහනයක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. එම ගණන 2,374,461කි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මිලියන 02කට වැඩි ජනගහනයක් පදිංචිව සිටින්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල බවය.
මෙම දිස්ත්‍රික් දෙක හැරුණු කොට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ 1,760,829ක්ද, මහනුවර දිස්ත්‍රික්කය තුළ 1,461,269ක්ද, කළුතර දිස්ත්‍රික්කය තුළ 1,305,552ක්ද, රත්නපුර දිස්ත්‍රික්කය තුළ 1,145,138ක්ද, ගාල්ල දිස්ත්‍රික්කය තුළ 1,096,585ක්ද වශයෙන් වැඩිම ජනගහනයක් පදිංචිව සිටිති.
පෙර සංගණනවලදී මෙන්ම මෙවරත් අඩුම ජනගහනයක් පදිංචිව සිටින දිස්ත්‍රික්ක වී ඇත්තේ උතුරු පළාත බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අනුව මුලතිවු දිස්ත්‍රික්කය තුළ 122,542දෙනෙක්ද, මන්නාරම දිස්ත්‍රික්කය තුළ 123,674දෙනෙක්ද, කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ 136,434 දෙනෙක්ද, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 172,257 දෙනෙක්ද පදිංචිව සිටිති.
සමස්ත දිස්ත්‍රික් අතරින් වැඩිම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන සියයට 2.23කි. අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියාව දිස්ත්‍රික්කයෙනි. එම ගණන සියයට 0.01කි.
මෙවර සංගණනයේදිත් වර්ග කිලෝමීටරයට වැඩිම ජනගහන ඝනත්වයක් ඇති බවට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. එම ගණන 3,549කි. අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කය තුළය. එම ගණන වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 50කි.