අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අලුත් අවුරුදු කාලයෙන් පසුව නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිනමිණ” කළ විමසීමේදී ඊයේ (07) පැවසීය.
රට පුරා මධ්‍යස්ථාන 2312කදී මෙම විභාගය පැවැත්විණි. විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 333,183ක් පෙනී සිටි අතර ඉන් 253,390ක් පාසල් අයදුම්කරුවන් සහ 79,793 පෞද්ගලික අයදුම්කරුවන් විය.
උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා පැවැත්විණි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය (66) විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැතියේද පෙබරවාරි මස 08 වැනිදා සිට 10 වැනිදා දක්වාය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මාර්තු 01 වැනිදා සිට ආරම්භ කෙරිණි.
ඇගයීම් මධ්‍යස්ථාන 1066කදී පිළිතුරු පත්‍ර ඇගැයීම සිදු කරන අතර ඒ සඳහා ගුරුවරුන් 15,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ.
සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු අනිද්දා (10) අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
පසුගියදා පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද හෙටම නිකුත් කරන බවට පළ වන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.