සිංහල, හින්දු අලුත් අවුරුදු නැකත උදාවෙත්ම රතිඤ්ඤා හඬින් ගම් මායිම දෙවනත් වෙයි. ප්‍රීතිය සහ කෘතවේදිත්වය සලකුණු කිරීම සඳහා ශබ්ද පූජා පැවැත්වීම අතීතයේ පටන් හෙළයන් විසින් ඉටුකරන ලද්දකි. රතිඤ්ඤා, අහස් කූරු, නිලා කූරු, බඹර චක්‍ර ආදී ගිනිකෙළි අවුරුදු නැකත් චාරිත්‍ර හා එක්ව ඇත්තේ කාලානුරූපවය. නැකත් වේලාවන් රතිඤ්ඤා දල්වා සංකේතවත් කිරීම නව අවුරුදු උදාවේ නිරායාසයෙන් සිදුවන අනිවාර්ය අංගයක් බවට ක්රමිකව පත්ව ඇත.
මේ පසුබිම තුළ ගිනිකෙළි නිෂ්පාදනය සැලකිය යුතු පිරිසකගේ ජීවනෝපාය සරි කරන කර්මාන්තයක් ලෙස වර්ධනය වූවේය. වර්ෂයකට වරක් උදාවෙන වෙළෙඳාමෙන් කීයක් හෝ උපයා ගන්නා පිරිසක්ද ඒ අනුව මහ මඟට ආවේය. කලක් තිස්සේ වාර්ෂිකව සිදුවන මේ වෙළෙඳාමෙන් කීයක් හෝ උපයා ගැනීමට වෙහෙසෙන “දිනුක ලක්ෂාන්” පැවසුවේ මෙවැනි අදහසකි. ඔහු අනුරාධපුර, පණ්ඩුලගම ප්රදේශයේ පදිංචි අයෙකි.
“ගිය අවුරුද්දත් එක්ක බලද්දි මේ පාර වෙළෙඳාමේ අඩුවක් තියෙනවා. සමහර විට අවුරුදු දවස් කිට්ටු වෙනකොට තත්ත්වය හොඳ වෙන්නත් පුළුවන්. දැනට ඉතිං පාරේ කට්ටිය අපි දිහා බල බලා යනවා. මේ පාර ගිය අවුරුද්දට වැඩිය පාරේ වෙළෙඳාම් කරන කට්ටිය වැඩිවෙලා තියෙනවා. වෙළෙඳාම අඩුවෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති.”
ගිනිකෙළි හේතුවෙන් අලුත් අවුරුදු සමයේ දී සිදුවන අනතුරු පිළිබඳව ද අසන්නට ලැබේ. කුඩා දරුවෝ අනවබෝධයෙන් හා අනාරක්ෂිතව ගිනිකෙළි භාවිතයට යොමුවීම හේතුවෙන් විවිධ අනතුරුවලට ලක්වෙති. විශේෂයෙන් අනාරක්ෂිතව රතිඤ්ඤා පුපුරා යෑමෙන් අක්ෂි ආබාධ, දෑතේ ඇඟිලි තුවාල වීම්, ශරීරයේ ඇතිවන පිලිස්සීම් ආදී අනතුරු පිළිබඳව අවුරුදු සමයේ දී අසන්නට ලැබේ. මෙම පසුබිමද ඉකුත් වසර කිහිපය තිස්සේ දරුවන් තුළ පවා ගිනිකෙළි කෙරෙහි ඇති උනන්දුව අවම වීමට හේතුවී ඇති බව නිරීක්ෂණය වේ. අනුරාධපුර, දෙකේ කණුව ආසන්නයේ රතිඤ්ඤා වෙළෙඳාමේ යෙදෙන “දහම් තරූෂ” පැවසුවේ මෙවැනි අදහසකි.
“අපිත් තරුණ වයසේ ඉන්න අය විදිහට දන්නවා අවුරුද්ද කියන එකේ වැඩිම සතුට තියෙන්නේ ළමයින්ට. ඉතිං මවුපියෝ දරුවෝ ඉල්ලන ඕන දෙයක් අරන් දෙන්න බලනවා. සමහරු රතිඤ්ඤා, අහස් කූරු එහෙම පත්තු කරන්න බයයි. ඉතිං එහෙම අයට පුළුවන් නිලාකූරු පත්තු කරන්න. නැත්නම් බඹර චක්‍ර පත්තු කරන්න. මං නං කියන්නේ පරිස්සම් වෙන්නත් ඕන. ළමයින්ට ඒ අත්දැකීම විඳින්න දෙන්නත් ඕන කියලා. අවුරුද්දටම එක පාරයි මේ වෙළෙඳාම තියෙන්නේ.”
මෙරට ගිනිකෙළි නිෂ්පාදනය කෙරෙන ප්රධානතම ප්රදේශයක් ලෙස සැලකෙනුයේ මීගමුව, කිඹුලාපිටිය ප්රදේශයයි. එහි පවුල් වශයෙන් ඒකරාශි වී ගිනිකෙළි නිෂ්පාදන ක්රියාවලියට දායක වෙයි. එය ඉතා දුෂ්කර සහ වෙහෙසකර මෙන්ම වගකීම් සහගත කාර්යයකි. තවත් අතකින් මෙම කර්මාන්තයේ ඇති අවධානම් සහගතභාවයද ඉතා ඉහළය.
එය වෙනම කඳුළු කතාවකි. රට පුරා අවුරුදු සමයට අලෙවි කෙරෙන බොහෝ ගිනිකෙළි නිෂ්පාදනය කෙරෙනුයේ මේ කිඹුලාපිටිය ගම්මැද්ද තුළය. අනුරාධපුරයේ සිට කිඹුලාපිටියට ගොස් රතිඤ්ඤා, අහස් කූරු ආදිය රැගෙන විත් මහ මඟ අළෙවියේ යෙදෙන “සුජීව ශිරන්ත” පැවසුවේ මෙවැනි අදහසකි.
“කිඹුලාපිටියේ පවුලේ කට්ටිය එකතු වෙලා තමයි රතිඤ්ඤා හදන වැඩේ කරන්නේ. මුළු ගමේම කට්ටියගේ රස්සාව ඒක තමයි. පවුලක් විදිහට එකතු වෙලා මොකක් හරි නමක් දාගෙන නිෂ්පාදනය කරනවා. අපි කරන්නේ ගමේම ඇවිදලා මිල ගණන් බලලා අපිට ඕන දේවල් අරන් එන එක. හැම ගෙදරම මිල ගණන් එක වගේ නෑ. වෙනස් වෙනවා. අඩු, වැඩි වෙනවා. පාරේ වෙළෙඳාම් කරන අපි ළඟත් මිල ගණන් වෙනස් වෙන්නේ ඒ හින්දා. මං පාරේ යන බස් එකක ගිහිල්ලා මේ පාර රුපියල් තිස්පන්දහක බඩු ගෙනාවා. තාම නම් ලොකු වෙළෙඳාමක් නෑ.”