ණයට මසුන් අලෙවි කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී ඊට පටහැණිව මසුන් අලෙවි කිරීම හේතුවෙන් ලංකා ධීවර සංස්ථාවට රුපියල් 476,166,162ක මුදලක් නැවත අයවීමට ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 2003 ඔක්තෝබර් 07 දිනැති CFC/GM/CIR/51 දරන අභ්‍යන්තර චක්‍රලේඛය මඟින් ණයට මසුන් අලෙවි කිරීම වහාම අත්හිටුවා තිබේ.
එසේ තිබියදීත් චක්‍රලේඛයට පටහැණිව දිගින් දිගටම ණයට මසුන් අලෙවිය සිදුකොට ඇති බව විගණනයෙන් පෙන්වා දී ඇත. මේ පිළිබඳ ලංකා ධීවර සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ විධායකයන් හා මෙහෙයුම් අංශ විසින් ණය පදනමින් මසුන් බාහිර ආයතන වෙත සැපයීමේදී ආරක්ෂිත තැන්පතු තබා ගැනීම මෙන්ම ලිඛිත ගිවිසුම් මසුන් ණයට විකිණීම සිදු කළ යුතු බවට නව චක්‍රලේඛයන් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවත් එම චක්‍රලේඛයට අදාළ කෙටුම්පත මේ වන විටත් සකස් කර ඇති බවත් කළමනාකාරීත්වය සඳහන් කර තිබේ.
චක්‍රලේඛයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු බව විගණනය මඟින් නිර්දේශ කොට ඇත.