සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 9 වැනි දින සිට 21 දක්වා කාලය තුළ ගම්බිම් බලා පිටත් වන මගීන් සඳහා වන ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම කාලසීමාව තුළ ගම්බිම් කරා යෑමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස් නැවතුම්පළවලට මගීන් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවත් මෙම මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව මෙන්ම ප්‍රථමාධාර අදාළ බස් පර්යන්තවලට සපයා තිබේ. විශේෂ රාජකාරි සඳහා නිලධාරින්ද ස්ථාපනය කර ඇති බවත් එහි සඳහන් කර ඇත.
ඉහත කාලසීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාර ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර තිබේ. 1955 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය සහ 0712595555 අංකය හරහා Whatsapp මඟින් ඕනෑම මගියකුට ඒ හා සම්බන්ධ විය හැකිය.
එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය සම්බන්ධ වීමසීම් 1971 ඇමතීමෙන් ලබාගත හැකි බවද එහි දක්වා ඇත.
මෙම අවුරුදු කාලසීමාව තුළ මහනුවර, පුත්තලම, හයිලෙවල්/ ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5 කේන්ද්‍ර කොටගෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් දුර ගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ලබයි.
ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස්රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද එහි දක්වා ඇත.
මීට සාපේක්ෂව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවනු ලබන බවත් මාකුඹුර, කඩවත, කඩුවෙල හා කොළඹ බැස්ටියන් මාවත කේන්ද්‍ර කොටගෙන අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම වැනි ගමනාන්ත කරා මගී ප්‍රවාහන සේවා සැපයීම සඳහා අතිරේක බස් රථ ගමන්වාර 350ක් යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බවත් එහි සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම කාලසීමාව තුළ මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කිරීම සිදු වන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන කොරිඩෝ ආවරණය වන පරිදි දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ලෙස ජංගම පරීක්ෂණ නිලධාරින් සේවයේ යොදවා ඇති බවත් ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ හා තදාසන්න නගර කරා රැගෙන ඒම සඳහා අදාළ පළාත් ප්‍රවාහන අධිකාරි සමඟ එක්ව බස් රථ සේවා සැපයීමටද අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.