ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ඇතුළුව තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයට පැමිණ ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාව අරමුණු කරගෙන ඉදිරි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ සැලසුම් හා ජපානයේ සහයෝගීතාව සම්බන්ධයෙන් වූ අතරමැදි වැඩසටහන් ඉකුත් දශක 2කට වැඩි කාලයක් පාත්ෆයින්ඩර් පදනම ක්‍රියාත්මක කළ ආකාරය එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
දෙරට අතර සමීප සම්බන්ධතාව සහ ආර්ථීක හවුල්කාරීත්වය ඇතුළු ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇත.
ජපානයේ සහාය ඇතිව ඉන්දියානු සාගර කලාපය ආවරණය කරන ඉහළ පෙළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමේ අදහස මෙහිදී මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කොට තිබේ.
“ත්‍රිකුණාමලය උපදේශනය” මැයෙන් 2017 සහ 2019 වසරවලදී පාත්ෆයින්ඩර් පදනම විසින් පවත්වන ලද සමුළුවට ජපාන රජය සම්බන්ධ වූ ආකාරය සහ 2019 වසරේ සිට දෙවසරකට වතාවක් පාත්ෆයින්ඩර් පදනම පවත්වන ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුව සාර්ථක කර ගැනීමට ජපාන රජය සම්බන්ධ වීම ගැනද කරුණු සාකච්ඡා කොට තිබේ.
තානාපතිවරයා සමඟ එහි දේශපාලන අංශ ප්‍රධානී සිහිනිචි මුරාටා මහතා ද සාකච්ඡාවට සහභාගී වූ අතර පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, අධ්‍යක්ෂක ඒ. ඒ. ජවාඩ්, කළමනාකරු වැඩසටහන් ගයත්‍රී නානායක්කාර මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
සාකච්ඡා අවසානයේ දී නියෝජිත පිරිස ÒමහානාගÓ යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ කැලණිය රජමහා විහාරස්ථානය බලා පිටත්ව ගියහ. එහිදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ද මුණගැසිණි.