මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 2024 සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාව ජනාධිපති සහ මුදල් ඇමැති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (07) මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් පිළිගන්වන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ස්ථායි ප්‍රගතියක් 2024 දී සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව මඟින් පෙන්වා දී ඇත. වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.
මේ සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසු, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මැද වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත. මේ වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවේ අඩුවීම යනාදිය වේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්යක්ෂවරුන් වන ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.