කොළඹ නෙලුම් කුලුන පරිශ්රයෙන් ‘එන්. සීලානාත හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම’ ඉවත් කිරීමට එරෙහිව එම සමාගම විසින් ‘කොළඹ ලෝටස් ටවර් කළමනාකාර සමාගම’ට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
අදාළ පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවට වගඋත්තරකාර කොළඹ ලෝටස් ටවර් කළමනාකාර සමාගම සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව මෙම පෙත්සම ඉවත දමන ලදි.
අදාළ නඩු ගාස්තුව පෙත්සම්කාර සමාගම වගඋත්තරකාර සමාගම වෙත ගෙවිය යුතු බවට ද නියම කෙරිණ.
අභියාචනාධිකණ වැඩ බලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතාගේ එකඟත්වය සහිත නඩු තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු කේ.එම්.එස්. දිසානායක මහතා විසින් ප්රකාශයට පත් කරන ලදි.
මෙම නඩු කටයුත්තට අදාළව අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝග සියල්ල ද ඉවත් කරන ලදි.
කොළඹ නෙලුම් කුලුණෙහි පළමු මහලේ වාණිජ කලාප 01 ප්රදේශයේ වර්ග අඩි 2583ක සිටි සිය සමාගම එම ප්රදේශයෙන් ඉවත් කිරීමට එරෙහිව ‘සීලානාත හෝල්ඩින්ග්ස් ‘ පෞද්ගලික සමාගම විසින් මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කර තිබිණි.
සිය සමාගම එම පරිශ්රයෙන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කරන ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
මෙම පෙත්තම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඉකුත් පෙබරවාරි මස හත්වැනිදා මෙම පෙත්සමට අදාළව තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අනතුරුව පෙත්සමයෙහි වගඋත්තරකරුවන්ට නොතිසි කැඳවා විභාගයක් පවත්වන ලදි.
මෙම පෙත්සමට එරෙහිව වගඋත්තරකාර සමාගම මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවට එමඟින් කරුණු ඉදිරිපත් කරන ලදි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් පෙත්සම පවත්වාගෙන යන්න නොහැකි බවට තීරණය කළේය. ඒ අනුව පෙත්සම ඉවත දමන ලදි. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු නීති මඬුල්ලක් පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ කේ.යූ. ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ජනප්රිත් ප්‍රනාන්දු සහ අමිල පෙරේරා, සම්සම් ඉස්මයිල් යන නීතිවේදීහූ වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා වගඋත්තරකාර විදුලි සංදේශ නියාමන කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.