රුපියල් අටකෝටි හතළිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිවුදෙනකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (7) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිවුදෙනා අතර කොළඹ ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි සහ 35 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනකු සහ මාවතගම ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු සහ රක්වාන ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු සිටින අතර, ඔවුන් ඊයේ (7) දින උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන්යානා දෙකක සහ ෆ්ලයි ඩුබායි ගුවන්සේවා ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් රැගෙන ආ ගමන් මලු 15ක් තුළ ‘මැන්චෙස්ටර්’, ‘ප්ලැටිනම්’ සහ ‘ගෝල්ඩ් ලීෆ්’ යන වර්ගවලට අයත්, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 560,000ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800ක් සඟවා ගෙන සිටියදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දුම්වැටි තොගය සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගීන් සිවුදෙනා අත්අඩංගුවේ තබා ගෙන ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.