වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැක කටයුතු ලෙස මියගිය තරුණයා නිවෙසකට ඇතුළු වී සිටිය දී අත්අඩංගුවට ගත් බවට පොලීසිය මුල් අවස්ථාවේදී සඳහන් කළ ද සැබෑ ලෙසම එම තරුණයා නිවෙසකට ඇතුළු වී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මෙම තරුණයා රැඳී සිට ඇත්තේ නිවෙසක නොව ඉඩමක බවද අනාවරණය වී ඇත.
මෙම තරුණයා ඉඩමේ රැඳී සිටියදී ඒ ගැන සැකසිතූ ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීම් දී තිබේ. ඒ අනුව වැලිකඩ පොලීසියේ නිලධාරීන් එහි ගොස් තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
වැලිකඩ පොලීසිය පාර්ශ්වයෙන් සඳහන් කරනු ලබන්නේ තරුණයා මානසික ආබාධිත අයෙක් බවත් ඔහු පොලිස් ස්ථානය තුළදී සිය ඔළුව බිත්තියේ හප්පා ගනිමින් නොසන්සුන්ව හැසිරුණු බවය. ඒ තත්ත්වය මත තරුණයාව මුල්ලේරියාව මානසික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවද වැලිකඩ පොලීසිය පාර්ශ්වයෙන් සඳහන් කරයි. මෙම තරුණයා මානසික රෝගියෙක් බව හෝ මානසික රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමක් සිදු කර ඇති අයෙක් බව මෙතෙක් විමර්ශනවලින් අනාවරණය වී නැත. එම තරුණයාගේ පවුලේ සාමාජිකයන් හෝ ඔහුගේ සමීපතමයන් හෝ ඒ ගැන සඳහන් කරන්නේ නැත. එසේ තිබියදී වැලිකඩ පොලීසියේ නිලධාරීන් ඔහු මානසික රෝගියෙක් බව උපකල්පනය කරමින් ඔහුව මුල්ලේරියාව මානසික රෝහලට ඇතුළත් කරනු ලැබීමද මේ වන විට සැකයට ලක්ව තිබේ.
විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් වැලිකඩ පොලිස් ස්ථානයට දුරකතන පණිවුඩය ලැබී ඇත්තේ අප්‍රේල් 01 වැනිදා රාත්‍රී 9.35ට පමණය. ඒ අනුව වැලිකඩ පොලීසියේ නිලධාරීන් විනාඩි 10ක් ඇතුළත රාජගිරිය නාවල පාරේ ශ්‍රී රතනජෝති මාවතේ ඉඩමට ගොස් තරුණයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණයාව පොලිස් ස්ථානයට රැගෙන ආ බවට පොලිස් පොත්වල සටහන් තබා ඇත්තේ රාත්‍රී 10.20ට පමණය. තරුණයාව රෝහලට රැගෙන ගියේ යැයි සඳහන් වන්නේ රාත්‍රී 10.50ට පමණය. තරුණයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය. මෙම තරුණයා රැඳී සිටි ස්ථානය අසල නිවෙසක ඇති ආරක්ෂක කැමරාවක ඩී.වී.ආර්.එක ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත. එම ඩී.වී.ආර්. එක තිබී ඇත්තේ පද්ධතියෙන් ගලවා සඟවා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම තරුණයාගේ මරණය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. වැලිකඩ පොලිස් ස්ථානයේ පරිපාලන දුර්වලතා මෙම තත්ත්වයට මුල්වී ඇති බව පොලිස් බලධාරීන්ට පෙනී ගොස් තිබේ. මෑතකදී වැලිකඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් කොළඹ සිදු වූ පුද්ගල පැහැරගැනීම් දෙකක් සහ මංකොල්ලකෑම් දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. එසේම වැලිකඩ පොලීසියේ නිලධාරියෙක් මත්කුඩු සමඟ වැල්ලම්පිටියේදී හසු විය. පොලීසිය ඉදිරිපිට පිහිටි ප්‍රධාන මාර්ගයට යාබද ගොඩනැඟිල්ලක මල්පෝච්චියක් අස්සේ තිබී හමුවූ බෝම්බයක් ගැන පොලිස් පොත්වල සටහන් නොතබා එම බෝම්බය හමුවීම සඟවා තැබීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන්ද වැලිකඩ පොලීසියට චෝදනාවක් ඇත. ඒ ගැන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා පොලිස් බලධාරීන් දැනුම්වත් කිරීමක් සිදුකර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.