වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව කියන මීගහකිවුල, පහලගෙදර තුරුලිය සෙවන පදිංචි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති 25 වියැති තරුණයාගේ මරණයට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ඉල්ලමින් මීගහකිවුල හා අවට ප්රදේශවාසීහු ඊයේ (07) මීගහකිවුල නගරයේදී නිහඬ උද්ඝෝෂණයක් සිදු කළහ.
තරුණ වැඩිහිටි 200ක පමණ පිරිසක් ඊයේ (07) පස්වරුවේ මෙම නිහඬ විරෝධතාව සිදු කළහ. ‘සත්සර පුතුනි, අපි ඔබ සමඟයි, පොලීසිය නීතිය අතට ගත්තේ නම් උසාවි කුමට ද නීතිගරුක පොලීසියක් ඇති කරන්න, සාධාරණයක් වනතුරු මීගහකිවුල අවදියෙන්, වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙනු, දිවි අහිමි වූ සත්සර පුතුට යුක්තිය ඉටු කරනු, වරද සිදු කළ පුද්ගලයින්ට නීතිය හමුවේ දඬුවම් දෙමු, නීතිය ක්රියාත්මක විය යුතුයි, ගම්වාසී අපගේ දැඩි විරෝධය, නිමේෂ් සත්සර පුතුනි අපි ඔබ සමඟයි. සත්සර පුතුගේ වියෝවට අපගේ නිහඬ විරෝධය, ආදී වැකි රැගත් පුවරු හා කළු කොඩි රැගත් කාන්තා, මහලු, තරුණ වැඩිහිටි පිරිස් මීගහකිවුල නගරයේ පදිකවේදිකාව මතට වී උද්ඝෝෂණයේ නිරත වූහ.