මෙරට කර්මාන්ත නංවන්න රුසියානු අතහිත
පසුගියදා රුසියානු තානාපති Leavan S. Dzhagaryan සහ ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රුසියානු ව්‍යාපාරික නියෝජිත හමුවක් පැවැතුණි. මෙහිදී රුසියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවට පිළිගන්නා බවටත් නව රජය ආයෝජකයින්ට වඩාත් පහසු වටපිටාවක් තැනීම වෙනුවෙන් වේගයෙන් කටයුතු කරන බවත්, නව තීරු බදු ප්‍රතිපත්ති, ආයෝජකයන්ට විවෘත වන පරිදි කර්මාන්ත සඳහා නව ඉඩක්, කර්මාන්ත සඳහා අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් දියුණු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය ඇමැතිවරයා විසින් වැඩිදුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම ඛනිජ ආශ්‍රිත කර්මාන්ත, මැණික් ස්වර්ණාභරණ, බෝට්ටු නිෂ්පාදනය, මෝටර් රථ උපාංග නිෂ්පාදනය හා තවත් ක්ෂේත්‍ර රැසකට අවශ්‍ය තාක්ෂණය හා අගය එකතු කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ඇති බවට රුසියානු නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.
මෙහිදී රුසියානු නියෝජිතයෝ සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, බලශක්ති, සීනි කර්මාන්තය ඇතුළු ක්ෂේත්රවල ආයෝජන වෙනුවෙන් රුසියානු ව්‍යාපාරිකයන්ගේ ඇති උනන්දුව ප්‍රකාශ කළ අතර, අමාත්‍යවරයා යෝජනා කළ ක්ෂේත්රවලට ආයෝජනවලට උනන්දුව ඇති රුසියානු ආයෝජකයන් ඒ සඳහා යොමු කරන බවට රුසියානු නියෝජිතයෝ සඳහන් කළහ.
එමෙන්ම රුසියානු නියෝජිතයෝ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුසියානු රැකියා වෙළඳපොළ විවෘත බවත් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා විශාල ප්‍රමාණයක් ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය භාෂා පුහුණුව ලබාදීම වෙනුවෙන් දෙරට එක්ව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් විය.
මෙම නියෝජිත හමුව වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Leavan S. Dzhagaryan මහතා, ආර්ථික හා වෙළඳ අංශය පිළිබඳ ප්‍රධානී, ඉන්දියාවේ රුසියානු වෙළඳ ප්‍රධානී Zhalta Antusheva මහත්මිය ඇතුළු රුසියානු නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.
ප්‍රසන්න
වෙල්ගම
සූරියකාන්ත මලෙන් ජීවිතය දිනූ තරුණයා
සූරියකාන්ත මල් යනු අතිශයින් සුන්දර එමෙන්ම මන බඳින දර්ශනයක් බව සැවොම දන්නා කරුණකි. වාසනාවේ සහ සෞභාග්‍යයේ සංකේතයක් ලෙසද ඇතැම් රටවල සූරියකාන්ත මල් කෙරෙහි දැඩි පිළිගැනීමක් තිබේ. ඉරට හැරෙන ඉරේ පැහැයෙන් දිදුලන සූරියකාන්ත මල් ඕනෑම තැනකට එක් කරන්නේ කදිම එළියක්. සූරියකාන්ත මල් වත්තක් දිව්‍ය ලෝකයක් මෙනි. උතුරුකරයේ යාපනයේ අරාලි ප්‍රදේශයෙන් සූරියකාන්ත දිව්‍ය ලෝකයක් අපට හමුවිය.
මේ අලංකාර සූරියකාන්ත මල් වත්තේ අයිතිකරු වන්නේ ටී. මිදූෂන් ය. විසි නව හැවිරිදි තරුණයෙකු වූ ඔහු, යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි. යාපනය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබ රජයේ රක්ෂා පසුපස හඹා නොගිය ඔහු, සූරියකාන්ත මල් වගාවෙන්, තම උත්සාහයෙන් උතුරේ ආර්ථිකයට දායකත්වය සපයයි.
“2020 වසරේ කොවිඩ් කාල පරිච්ඡේදය ආරම්භ වුණ දවස්වල තමයි මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් වසර ගතවුණේ. කොවිඩ් තත්ත්වය නිසා විශ්වවිද්‍යාලයේ නිවාඩු දුන්නා. ඉන් පසුව නිෙවසේ සිටි අතරේ තමයි ස්වයං රැකියාවක් ආරම්භ කරන්න ඕන කියන අදහස ආවේ. මට මුල ඉඳන්ම ආසාවක් තිබුණා අපේ ගම් ප්‍රදේශය තුළම ස්වයං රැකියාවක් කරන්න ඕන කියලා. ඒ අනුව මම වියළි ආහාර හා පොල් තෙල් අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කළා. රජයේ ලියාපදිංචිය සහිතව මම ඒ ව්‍යාපාරය පවත්වාගෙන ගියා. ඒ වගේම අන්තර්ජාලයෙන් ඉල්ලුම් කරන ගැනුම්කරුවන් පිරිසක් ද ගොඩ නැඟුණා.”
“මේ අතරේදී මම විශ්වවිද්‍යාල උපාධිය ලබා ගත්තා. නමුත් වෙනත් රක්ෂාවක් කළ යුතුයි කියන අදහසක් මට තිබුණේ නැහැ. ඒ අතරේදී මට අදහසක් ආවා සූරියකාන්ත මල් වගාව පිළිබඳව. සූරියකාන්ත මල්වල ඇට අපනයනය කරලා ඉහළ ආදායමක් උපයා ගන්න පුළුවන්. ඒ වගේම සූරියකාන්ත තෙල්වලිනුත් එහෙමයි. මේ ව්‍යාපාරය ඉන්දියාව වැනි රටවල මහා පරිමාණයෙන් සිදු කරනවා.”
ඒ අනුව මිදූෂන් තම නිෙවස පිහිටි ඉඩමේ පිටුපස කොටසේ සුළු ප්‍රමාණයෙන් සූරියකාන්ත මල් වගාව ආරම්භ කළේය. යාපනයේ පසට වගාව සරු විය. මිදූෂන් තම වගාව උනන්දුවෙන් සාත්තු කර හොඳින් ආරක්ෂා කළේය.
“සූරියකාන්ත මල් ඇට ඉන්දියාවට අපනයනයත්, සූරියකාන්ත තෙල් නිෂ්පාදනයත්, මම කුඩාවට පටන් ගත්තා. සූරියකාන්ත මල් ඇට කිලෝවක් ඉන්දියාවේ රුපියල් 3500ත් 4000ත් අතර මිලකට විකුණන්න පුළුවන්. ඒ ගත්ත ආදායමෙන් සූරියකාන්ත මල් වගාව විශාල පරිමාණයෙන් සිදු කරනවා. ඒ වගේම අනෙක් වගා නොකළ ඉඩම්වලත් සූරියකාන්ත මල් වගා කරන්නට පෙලඹිලා තිබෙනවා.”
සූරියකාන්ත ඇට විවිධ කෑම වර්ග අලංකාර කිරීම සඳහා ද භාවිත කිරීමට ආහාර නිෂ්පාදකයෝ පෙලඹී සිටිති. එසේම වර්තමානයේ ඇති විශාල ප්‍රමාණයේ සූරියකාන්ත බීජ වට්ටක්කා ඇට මෙන් තෙලෙන් බැද පරිභෝජනයට ගැනීමට විදේශිකයෝ මහත් ඇල්මක් මෙන්ම රුචියක් දක්වති. මේ අනුව ලෝකයේ සූරියකාන්ත භෝගයට විශාල ඉල්ලුමක් හිමිව ඇති බව පෙනේ.
මිනිසා පරිභෝජනයට ගන්නා තෙල් වර්ග අතරින් සූරියකාන්ත තෙල් වේගවත්ව ප්‍රචලිත වෙමින් පවතී. හෙලියන්තස්ඇනස් යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන සුරියකාන්ත, වියළි දේශගුණයක් පවතින පරිසරයක පහසුවෙන් වගා කළ හැකිය. සූරියකාන්ත මලෙන් ගන්නා ඇටවලින් තෙල් නිෂ්පාදනය කෙරේ. මෙම තෙල් භාවිත කරමින් මාගරින් ද ඉතිරි වන කොටස් යොදා ගනිමින් සත්ත්ව ආහාර ද නිෂ්පාදනය කරයි.
“වර්තමානයේ ශ්‍රී ලංකාවේ පොල් හිඟයක් තිබෙනවා. ඒ නිසා පොල් තෙල් මිලත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ නිසා පොල් තෙල්වලට ආදේශකයක් විදිහට සූරියකාන්ත තෙල් පාවිච්චියට ගොඩක් අය නැඹුරුවෙලා තිබෙනවා. සූරියකාන්ත මල් ඇටවලින් දින 90ක් තුළ තෙල් ගන්න පුළුවන්.”
“සූරියකාන්ත බීජ ඇතුළත මෘදු සහ මෘදු කර්නලයක් සහිත දැඩි ආරක්ෂිත පිටත කවචයකින් සෑදී තිබෙනවා. කර්නලය තුළ පෝෂණ අගයන් බහුතරයක් තිබෙනවා. එබැවින් නිෂ්පාදන ක්‍රියාවලියේ ආරම්භය තෙල් නිෂ්පාදනය සඳහා උසස් තත්ත්වයේ කර්නල් ලබා ගැනීම සඳහා බීජ පිරිසිදු කිරීම, පරීක්ෂා කිරීම සහ ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සිදු වෙනවා.”
“ඉහළ උෂ්ණත්වවලදී ඇඹරීම සහ රත් කිරීම මඟින් සූරියකාන්ත බීජ තද කිරීමට සූදානම් වන අතර එමඟින් තෙල් විශාල වශයෙන් නිස්සාරණය වේ. නිසි ලෙස සිදු කළ විට, නිෂ්පාදකයන්ට බීජයෙන් 50% දක්වා තෙල් ලබා ගත හැකිය. ඉතිරි දෑ වෙනත් කාර්මික හෝ කෘෂිකාර්මික භාවිතයන් සඳහා ගන්න පුළුවන්.”
සුළු පරිමාණයෙන් ආරම්භ කළ සූරියකාන්ත මල් වගාව, මිදූෂන් මේ වෙන විට තරමක් මහා පරිමාණයෙන් සිදු කරයි. ඒ අනුව මේ මල් වත්ත අද වන විට විශාල අලංකාර මල් වත්තක් බවට පත් වී ඇත. සූරියකාන්ත වගා භුමිය තුළ මී මැසි ජනපද පවත්වාගෙන යෑමට ද පුළුවන් බව මිදූෂන් පවසයි. අක්කරයක පමණ වගා බිමක මී මැසි ජනපද 10ක් පමණ පහසුවෙන් පවත්වා ගෙන යෑමට හැකි වීම තවත් විශාල ආර්ථික වාසියක් බව සඳහන් කළ යුතුය.
මීට අමතරව මිදූෂන්ගේ සුරියකාන්ත මල් වත්ත දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇත. එසේම මංගල ඡායාරූප ගැනීම සඳහා ද බොහෝ පිරිසක් මෙහි පැමිණෙන බව මිදූෂන් සඳහන් කරයි.
“මෙහෙ ලස්සන දැකලා ගොඩාක් අය තමන්ගේ වෙඩින් එකේ පින්තූර මේ සූරියකාන්ත මල් වත්තේ ඉඳලා ගන්න එනවා. මම එයාලාගෙන් මුදලක් අය කරනවා. වගා කටයුතුවල පොහොර සඳහා, සාත්තු වියදම් සඳහා අවශ්‍ය මුදල මට එහෙම හොයා ගන්න පුළුවන් වුණ.”
යනුවෙන් මිදූෂන් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.
එම්. තාරික්
ත්‍රිපෝෂ සමාගම සාර්ථක ගමනක
1973 වසරේදී මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ආරම්භ කරන ලද ත්‍රිපෝෂ නිෂ්පාදනය, මුල් කාලයේ සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පැවතුණි. සෝයා බෝංචි, කුරක්කන් හා වෙනත් ධාන්‍ය වර්ග මිශ්‍ර කොට නිපදවන මෙම පෝෂ්‍යදායී ආහාරය, ප්‍රධාන වශයෙන් ගර්භිණී මවුවරුන්, කිරිදෙන මවුවරුන් හා වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා නොමිලේ බෙදා හැරීම සඳහා සකස් කෙරුණි.
මෙලෙස ආරම්භ වූ ත්‍රිපෝෂ නිෂ්පාදනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය සමඟ සටන් කරමින් නිෂ්පාදනය කරන්නට විය.මෙය මෑතකදී අලුත් මුහුණුවරකින් ඉදිරිපත් වී තිබේ. පසුගිය වසර දෙක තුළ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හා නව ව්‍යාපාරික උපාය මාර්ග හේතුවෙන් දේශීය පෝෂණ අතිරේකයක් ලෙස ආරම්භ කරන ලද ත්‍රිපෝෂ, දැන් ලාභ ලබන කර්මාන්තයක් බවට පත්ව ඇත.
“ත්‍රිපෝෂ නිෂ්පාදනයේ මූලික අරමුණ වූයේ ජාතික මන්දපෝෂණ මට්ටම අඩු කිරීමයි”නමුත් මෑත වසරවල මෙම අරමුණ වෙනස් වී ව්‍යාපාරික ප්‍රවේශයක් කරා ගමන් කරමින් තිබේ. අලෙවිකරණ උපක්‍රම දියුණු කිරීම සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදු කෙරිණි.
පසුගිය වසර 18 තුළ, ත්‍රිපෝෂ ආයතනය විසින් ගුණාත්මක භාවයෙන් ඉහළ ත්‍රිපෝෂ ගෝල්ඩ්, ත්‍රිපෝෂ ක්‍රංචි වැනි නව ප්‍රභේද වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මේවා සුපිරි වෙළඳසල්, ඖෂධ සාප්පු හා වෙනත් සිල්ලර වෙළඳසල් හරහා අලෙවි කෙරේ.
තවද ත්‍රිපෝෂ සැකසූ ආහාර, බිස්කට් හා පාන් නිෂ්පාදනය කිරීම සඳහා බේකරි හා ආහාර නිෂ්පාදන සමාගම් සමඟ සබඳතා ගොඩනඟා ගෙන තිබේ. මෙලෙස වර්ධනය වන්නාවූ ත්‍රිපෝෂ කර්මාන්තය 2024 වසරේ මැද භාගයේ සිට ත්‍රිපෝෂ ආයතනය ලාභ ලැබීම ආරම්භ කර ඇති අතර, 2024 වන විට ත්‍රිපෝෂ නිෂ්පාදන කාර්යක්ෂමතාව 63%කින් වැඩි වී තිබේ. මීට අමතරව, පසුගිය වසර තුළ අලෙවිය 78%කින් වර්ධනය වී ඇත.
මෙලෙස මෙම සාර්ථකත්වය ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ගොවි ප්‍රජාවට ද ප්රතිලාභ ගෙන දී තිබේ. වර්ෂ 2025 වන විට, ගොවීන් 12,000කට අධික පිරිසක් ත්‍රිපෝෂ ආයතනයට සෝයා බෝංචි හා කුරක්කන් සැපයීමට ගිවිසුම්ගත වී සිටිති.
එලෙස සැපයුම් නිෂ්පාදනය සිදු කරනු ලබන ගොවීන් සඳහා යහපත් මිලක් ලබා දීම සහ නියමිත කාලයට ගෙවීම් සිදු කිරීම හරහා අපි ස්ථාවර සැපයුම් ජාලයක් ගොඩනඟා ගෙන තිබීමද විශේෂ වූ කරුණකි. විශේෂයෙන්ම ඉදිරි වසර තුළ ත්‍රිපෝෂ ආයතනයට අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගැනීමට සැලසුම් කර තිබේ. විශේෂයෙන් මැද පෙරදිග හා දකුණු ආසියානු රටවල මෙම නිෂ්පාදන සඳහා විභවයක් ඇති බව පර්යේෂණ වලින් පෙන්නුම් කර තිබේ. මේ ආකාරයෙන් ත්‍රිපෝෂ ආයතනය තම වාණිජ සාර්ථකත්වයට සමගාමීව, සමාජ වගකීම් ද ඉටු කරමින් සිටී. ප්‍රජා පෝෂණ වැඩසටහන් දිගටම පවත්වා ගෙන යන අතර, දුෂ්කර ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.අවසාන වශයෙන් කර්මාන්තයක් ලෙස ලාභ ලැබීම වැදගත් වුවත්, මූලික කාර්යය වන ජාතික පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ කාර්යය කිසි විටෙකත් අමතක නොකර ක්‍රියා කළ යුතු වේ. ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ආයතනය දැන් ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබේ.
නිසංසලා
කොට්ටගස්වත්ත
කෙසෙල් කොළයෙන් හැඩ මවන්නිය
කෙසෙල් කොළයෙන් අලංකාර චිත්‍ර නිර්මාණය කරන අපූරු නිර්මාණ ශිල්පිනියක් අපට හමුවුණා. එය නිවන්දනී හෙට්ටිආරච්චියි. ඇය මේ නිර්මාණ කරන්නේ සුමුදුගම හන්දිය තලාව, අනුරාධපුරයේ ඇයගේ නිෙවසේ සිටයි. නිවන්දනීගේ නිර්මාණ පිළිබඳ ඇය දිනමිණට පැවසූ අදහස් පිළිබඳ ලිපියකි.
මේ නිර්මාණවලට වැඩි ඉල්ලුමක් තිබෙන්නේ විදේශ රටවලිනුයි. මම අලෙවිය සඳහා අන්තර්ජාලය යොදා ගන්නවා. අන්තර්ජාලයෙන් කරන ඉල්ලීමට අනුව කුරියර් සේවාව හරහා අලෙවි කරනවා. ඊට අමතරව කට වචනයෙන් සහ නිර්මාණ දැකලා අරගෙන යන අපේ රටේ අයටත්, ඉල්ලීමක් කළොත් නිර්මාණය කරලා දෙනවා. ඒත් එකක් දෙකක් වගේ ප්‍රමාණයක් මිස ස්ථිර වශයෙන් මෙච්චරක් අවශ්‍ය යැයි ලොකුවට ඉල්ලන්නේ නැහැ.
වියළි කෙසෙල් කොළය පදම් කරලා චිත්‍ර නිර්මාණය සඳහා යොදා ගනු ගන්නවා. බිත්ති සැරසිලි, කාර්ඩ් වර්ග සහ ඉල්ලීමක් අනුව කරනු ලබන චිත්‍ර නිර්මාණ තිබෙනවා. හුඟක් අවස්ථාවලදි ඡායාරූප එවනවා සහ ඒ විදිහට නිර්මාණය කර ඉල්ලනවා. එක් එක් නිර්මාණය සඳහා එකිනෙකට වෙනස් අයුරින් කාලයක් වැය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ජනාධිපති සම්මාන ලද චිත්‍ර නිර්මාණය සඳහා මාස 3ක කාලයක් ගත වුණා.
මගේ පාසල් කාලයේදී 1989 වසරේදී මුලින්ම මේ චිත්‍ර නිර්මාණය ආරම්භ කළා. 1990දී ‘ජනාධිපති ජංගම සේවය’ ලෙස තරගයක් අනුරාධපුර මැදි මහ විදුහලේ පැවැත්වුණා. ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් මම මගේ නිර්මාණ ඉදිරිපත් කළා. ඒ තරගයේදී මට විශිෂ්ට සම්මානයක් ලැබුණා. අධ්‍යාපනය අවසන් කර මම ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස රැකියාව ආරම්භ කළා. ඒ රැකියාවෙන් මට ලැබුණ නිදහසත් සමඟ මේ චිත්‍ර නිර්මාණ ආරම්භ කර දිගටම කරගෙන ආවා.
2006දී පමණ මට පේටන්ට් බලපත්‍රය ලබාගත හැකි වුණා. ඒ එක්කම මම ‘විස්කම් පියස’ හරහා සම්මාන උලෙළ සඳහාත් ඉදිරිපත් වුණා. 2006 වසරේදී නොවිධිමත් අධ්‍යාපන ඒකකය සහ විශේෂ අධ්‍යාපන ඒකකය හරහා රැකියා විරහිත තරුණ තරුණියන් සහ වැඩිහිටියන්ට මේ චිත්‍ර කලාව නව ශිල්පීය කලාවක් ලෙස හඳුන්වා දුන්නා.
2006 සහ 2012 වසරවලදී මට ජනාධිපති සම්මානත් මේ චිත්‍ර නිර්මාණය සඳහා ලැබුණා. 2008දී ස්වර්ණ අභිමාන සම්මානය ලැබුණා. ඊට අමතරව කලාපීය මට්ටමින් පවත්වන තරගවලදී විශේෂ කුසලතා සම්මාන 16ක් දිනාගන්නට හැකි වුණා.
මගේ නිර්මාණ කර්මාන්තයට නම් රාජ්‍ය අනුග්‍රහය එදත් නැහැ, අදත් නැහැ. විශේෂයෙන්ම නිර්මාණ අලෙවි කරගන්නට රජය උදව්වක් දෙන්නේ නැහැ. Òෂා, මේක මාර ලස්සන නිර්මාණයක්, මේකට මාරම මාකට් එකක් තියෙනවා, මේ නිර්මාණ ගෙදර තියාගෙන ඉන්න එපා, ඔයා ටවුමේ කඩයක් දාලා ඕක විකුණාගන්න, ඔයාට ලොකු ගාණක් ගත්තෑකිÓ කියලා නිලධාරින් මට උපදෙස් දෙනවා. මට කඩයක් දාගන්න හැකියාවක් තිබුණා නම් නිෙවසේ සිට මේ ව්‍යාපාරය කරන්නේ නැහැ. රජයේ නිලධාරින් අපිට කියලා දිය යුතුව තියෙන්නේ, ඉලක්කගත වෙළෙඳපොළ, රාජ්‍ය අනුග්‍රහය ලබාගත හැකි ආකාරය සහ අත්කම් නිර්මාණ ශිල්පීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමයි. ඒ වගේම අවශ්‍ය පහසුකම් ලබා දීමයි.
ඇත්තටම ශ්‍රී ලංකාවේ අත්කම් ශිල්පීන්ගේ නිර්මාණ අලෙවි කරගන්න මධ්‍යස්ථානයක් නෑ. එහෙම ස්ථානයක් තිබුණා නම් නිර්මාණ සහ ප්‍රදර්ශන පවත්වන්න හැකියාව තිබෙනවා. අනාගතයේදී සංචාරකයන් වැඩි කරගන්නට රජයේ ව්‍යාපෘතියක ආරංචිය තිබෙනවා. අපි වගේ අත්කම් නිර්මාණ ශිල්පීන්ට ව්‍යාපාරයක් මට්ටමට එන්නට නම් රජයේ පූර්ණ මැදිහත්වීම අවශ්‍යයි.
ඉරෝෂා දීපානි