අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් හෙට (09) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ අපනයනවලට පැන වූ 44%ක තීරු බද්ද හේතුවෙන් මෙරට අපනයන භාණ්ඩ වර්ග පහකට දැඩි බලපෑමක් එල්ල වේ.
එම බලපෑම අවම කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රජයට උපදෙස් දීමට ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් ද මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කොට තිබේ.
එම කමිටුව අද (08) රැස්වී අමෙරිකානු ඉහළපෙළේ බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.
මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය, සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අාචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් කොළඹ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. එහිදී දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉකුත් 02 වැනිදා එරට නව තීරුබදු සංශෝධන ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 180කට අදාළව එහිදී නව තීරුබදු අනුපාත ප්‍රකාශ කරන ලදි. මෙහිදී අප විශේෂයෙන් සඳහන් කළ යුතු වන කරුණක් වනුයේ, මේ තීරුබදු සංශෝධන ඍජුවම ශ්‍රී ලංකාව ඉලක්ක කොට සිදු කළ එකක් නොවන බවය.
එමෙන්ම මේ බදු සංශෝධන ඉදිරිපත් කළ දිනයට පෙර, මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය සමඟ කරුණු සාකච්ඡා කිරීමට මෙරටේ බලධාරීන්ට අවස්ථාව තිබුණා යැයිද, එය ඔවුන් පැහැර හැර ඇතැයි ද යනාදී කරුණු කාරණා සමාජයේ මතුවී ඇති කරුණකි. එම කරුණ හා ඇතැම්විට රජයට එරෙහිව චෝදනාවක් සේ පෙරට එන එම මතවාදය ද මුළුමනින්ම මුසාවකි. ඒ මන්ද, අප රටට පමණක් නොව ලොව අනෙකුත් රටවලට ද අමෙරිකාව පැනවීමට යෝජනා කළා නව බදු තීරණ සම්බන්ධයෙන් පූර්වගාමිව එරට සමඟ සාකච්ඡා කිරීමට ඉඩකඩක් නිර්මාණය වී නොතිබුණි.
ආර්ථිකය දියුණු කිරීම
අමෙරිකාව බදු සංශෝධන යෝජනා කළ දිනට පසු දිනම අමෙරිකාවේ මේ හා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන වෙළෙඳ පහසුකම් අංශය, ධවල මන්දිරය, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, අමෙරිකානු රජය සමඟ පවා ශ්‍රී ලංකාවේ අප තානාපති කාර්යාල නිලධාරීහු සාකච්ඡා ආරම්භ කළහ. ඒ නිසා අප එරට සමඟ මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළේ නැතැයි හෝ එසේ කරන්නට අප සමත් වී නැතැයි නැඟෙන චෝදනා බැහැර කළ යුතුය.
අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් පැත්තෙන් බලනවිට, එරට ජාතික ආර්ථිකය දියුණු කිරීම උදෙසා නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සිදුවිය. එමනිසා, එරට ජනාධිපතිවරයා සිය රටේ වෙළෙඳ ප්‍රතිපත්තිය වෙනස් කරමින් බදු සංශෝධන හඳුන්වා දුනි. මෙය සිදු කළේ කිසියම් බදු සූත්‍රයකට අනුවය. එම බදු සූත්‍රය අමෙරිකාව විසින් තීරණය කරනු ලැබ තිබෙනුයේ එක් එක් රට ගැන රටේ භූ දේශපාලනික වැදගත්කම කොතරම් බලවත් ද? නැද්ද? ඇතුළු වෙනත් තොරතුරු පදනම් කර ගනිමින් නොවේ.
අමෙරිකාව විසින් එක් එක් රටවල් සමඟ සිදු කරන ආනයන – අපනයන දත්ත පදනම් කොට මේ සූත්‍රය සකස් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර වෙළෙඳාමේදී 88%ක වෙළෙඳ පරතරයක් ඇති බව ගණන් බලා තිබේ.
වසර 2024දී ශ්‍රී ලංකාව අමෙරිකාවට රුපියල් මිලියන 939,973ක් වටිනා භාණ්ඩ අපනයනය කර ඇත. අප විසින් අමෙරිකාවෙන් රුපියල් මිලියන 144,557ක් පමණ වටිනා භාණ්ඩ ආනයනය කර ඇත. මේ වෙනසින් රුපියල් මිලියන 939973 බෙදූවිට 88%ක් ලැබෙන අතර, ඉන් 50%ක් ලෙස පොදු අනුපාතයක් 44% තීරු බද්දක් මෙරටට පැනවීමට අමෙරිකාව යෝජනා කොට ඇත.
මේ අවස්ථාවේ අමෙරිකානු රජය සිදු කර ඇත්තේ කුමක්දැයි අපි පැහැදිලි කරගත යුතුය.
අමෙරිකාව එරට විදේශ වෙළෙඳ ප්‍රතිපත්තිය පාදක කරගෙන පිටරටවලින් භාණ්ඩ ගෙන එන විට අයකරන බදු ව්‍යුහයක් හඳුන්වාදී ඇත. පළමුවෙන්ම අප්‍රේල් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි “බේස්ලයින්” ලෙස 10%ක් අය කරන ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. ඉන්පසු අමෙරිකාව හා ගනුදෙනු කරන එක් එක් රටවල වෙළෙඳ පරතරය 20% හෝ ඊට අඩුනම් තවත් 10% බදු ප්‍රතිශතයක් හඳුන්වා දී ඇත.
මේ ආකාරයට නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමත් සමඟ අප රටට සිදුවනුයේ විශාල බලපෑමකි. එසේ වීමට හේතුව ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රමාණය අමෙරිකාවේ සමස්ත ආනයන ප්‍රමාණයෙන් 0.1ක් තරම් සුළු ප්‍රමාණයක් වීමයි. මෙවැනි අවස්ථාවලදී අප වැනි කුඩා ආර්ථිකයක් සහිත රටවල් විසින් සිදු කළ යුත්තේ කුමක්දැයි රජයට කරුණු කීමට මේ හා සම්බන්ධ විද්වතුන්, ජාත්‍යන්තර වෙළෙඳාමේ නිරතවන ප්‍රවීණයින් හා ප්රබලයින්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් පත්කොට ඇත. අමෙරිකාව මේ නව බදු ප්‍රතිපත්තිය සමඟ යෝජනා කර සිටිනුයේ අපට වෙළෙඳ පරතරය අඩු කරගැනීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව අප එම යෝජනාව සම්බන්ධයෙන් දැනටමත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටිමු.
ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් වෙළෙඳ පරතරය අඩු කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද? තීරු බදු ව්‍යුහයේ වෙනස්කම් කළ හැකි ක්‍රම හා ආකාරයන් මොනවාද? යන්න පිළිබඳව කමිටුව අවධානය යොමු කරමින් සිටියි. එම කමිටුව ඉතා ඉක්මනින් තම නිර්දේශ හා යෝජනා රජයට භාරදීමට ක්‍රියා කරනු ලබයි.
අමෙරිකාව තීරු බදු ප්‍රතිපත්ති සංශෝධනය කිරීමේදී ශ්‍රී ලංකාව වෙළෙඳ පරතරය අඩු රටවල් 60ක කණ්ඩායමට හෝ ඔවුන් සමඟ ජාත්‍යන්තර ගනුදෙනු කරන රටවල් 15ක් නම්කොට ඇති “dirty 15” කණ්ඩායමට හෝ ඇතුළත් කර නොමැතිවීම හොඳ තත්ත්වයකි.
ශ්‍රී ලංකාව විශේෂයෙන් අමෙරිකාව සමඟ ගනුදෙනු කිරීමේදී මෙරටින් යැවෙන ඇඟලුම්, ප්ලාස්ටික් සහ රබර්, සකස් කළ ආහාර, ස්වර්ණාභරණ සහ රසායනික නිෂ්පාදන යන ක්ෂේත්රවලට තදින්ම එල්ල වන බලපෑම් අවම කර ගැනීමට ක්‍රියා කළ යුතුවෙමු.
මේ ක්ෂේත්‍ර පහේ අපට අත්විඳීමට සිදුවන දැඩි බලපෑම් සමනය කර ගැනීමට හැකිතරම් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමුවීමට හැකි බව ප්‍රකට කරුණකි. කරුණු එසේ වුවත් මේ මොහොතේ ක්ෂණිකව එවැනි ක්‍රියාමාර්ග වෙත විතැන්වීමට අප ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි විද්වත් තාක්ෂණික කමිටුව රජයට යෝජනා ගෙන එනු ඇත.
අප අමෙරිකානු වෙළෙඳසල ජය ගැනීමට අපගේ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීම, නිෂ්පාදනවල ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළට ඔසවා ගැනීම, නව ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා ගැනීම කෙරෙහි ද අප මේ වන විට අවධානය යොමු කර ඇත.
අමෙරිකාවෙන් යෝජනා කොට තිබෙන ඉහළ තීරු බදු ප්‍රතිශත ගෙවීමට අපහසු බව ලොව රටවල් කිහිපයක් ඔවුන් සමඟ සාකච්ඡා කොට මේ වනවිටත් දැනුම්දී තිබේ. චීනය, එංගලන්තය, ප්‍රංශය හා ආර්ජන්ටිනාව වැනි රටවල් කිහිපයක් අමෙරිකානු ජනාධිපතිවරයාට ද ඇමතුම් ලබාදී ඇතැයි වාර්තාවේ. මේ අතරතුර ශ්‍රී ලංකාවේ අපද නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි අඩංගු කරුණු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇත. එම නිවේදනය අමෙරිකාවේ ඉහළපෙළේ බලධාරීන්ගේ අවධානයට ලක් කොට ඇත.
සංශෝධනය කිරීම
මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම වඩාත් සුබවාදිව කරුණු සොයා බලමින් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් කටයුතු කරමින් පවතී.
ශ්‍රී ලංකාවේ දැනට පවතින තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳව වඩාත් නිරවුල්, නවීන ලෝක තත්ත්වයන්ට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට කාලය එළැඹ ඇත. අප රටේ තීරුබදු සම්බන්ධව පනත සංශෝධනය කළ යුතුමය.
අපි රටක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳාමේ නිරතවීමේදී අය කරන ඕනෑම බද්දක් වේවා! ඒවා පිළිබඳව විනිවිදභාවයක්, තිරසරභාවයක්, සැමට විශ්වාසනීය ලෙස අය කරන ආකාරයක් දක්නට ලැබිය යුතුය. ඒ නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලැබුණු අභියෝගය පවා රටේ අනාගත සුබවාදී ආර්ථිකයක් ඇතිකිරීමේ තිරසර ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට යොදා ගැනීමට කල්පනා කර ඇත. අමෙරිකාව සමඟ සියයට බින්දුවක තීරු බදු ප්රතිපත්තියකට පිවිසෙන්නැයි ඇතමෙකු ප්‍රකාශ කරයි. ඒ ගැන ද තවදුරටත් සිතමින් සිටින අතර, එවැනි ක්‍රියාමාර්ග හරහා අහිමිවන ආදායම සොයාගන්නා විකල්ප වෙත යා යුතුය.
මේ ආකාරයෙන් රටේ ආර්ථික දියුණුව කඩිනම් කිරීමට කටයුතු කළ යුතුව ඇත. මෙවන් වැඩපිළිවෙළක් දියත් කිරීමට යත්න දරන අතරේ ඇතැම්හු නව රජයට විදේශීය සබඳතා නැතැයි, රාජ්‍යතාන්ත්‍රිකභාවයක් නැතැයි චෝදනා කරති. එසේ හෙයින් එම චෝදනාවලට පිළිතුරු ලබා දීමට වැය කරන කාලය එවැනි අනවශ්‍ය දේට යොමු නොකරමින් එල්ලවී ඇති මේ විශාල බලපෑමෙන් මිදීමට ප්‍රවේශ විය යුතු මංපෙත් සෙවීමට යොදවන ලෙස මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුය.
ජයසිරි මුණසිංහ