සදා සමරමු 71 සොහොයුරෝ
ලංකාවේ කුණුවී දුගඳ හමන ධනපති ක්‍රමය තුළ ඊට එරෙහිව, ධනේශ්වර බලාධිකාරියට අභියෝග කරමින් නිර්ධන පංතිය පැත්තෙන් මතුවූ පළමු සන්නද්ධ නැඟිටීම ලෙස ඉතිහාසගතව ඇත්තේ 1971 අප්‍රේල් අරගලයයි. එම අරගලය කටුක පරාජයකින් කෙළවර වුවද එහිදී විදහාපෑ වීරත්වය සටන්කාමීත්වය අසමසමය. 1971 අප්‍රේල් ජනතා නැඟිටීම වූ කලී ලංකා ඉතිහාසයේ එක් ප්‍රධාන හැරවුම් ලකුණක් සනිටුහන් කිරීමකි.
ඕනෑම ඵලයකට හේතුවක් හෝ හේතු සමුදායක් තිබෙන බව මාක්ස්වාදය උගන්වන අතර 1971 අප්‍රේල් නැඟී සිටීමටද හේතු ගණනාවක් බලපෑවේය. ඉන් පළමුවන්න අද ඔබ දකින මේ මජර අසික්කිත ක්‍රමය වෙනුවට වඩා යහපත් සමාජ ක්‍රමයක් මතු පරපුරට හෝ උරුම කරදීම දිවිපිදූ දසදහස් සංඛ්‍යාත සොයුරු සොයුරියන්ගේ ඒකායන අරමුණ විය. 1970 අගෝස්තු 10දා කොළඹ හයිඩ් පිටියේදී ජ.වි.පෙ. පැවැත්වූ එහි මංගල රැලිය යනු මෙතෙක් ලාංකේය දේශපාලන ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම රැලියයි. එය මෙරට ධනපති සඳළුතල දෙදරුම් කැවීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මර්දනය නව දේශපාලන පක්ෂයක් වූ ජවිපෙ වෙත මුදාහැරියේ දණින්වැටී යටත් වනවා වෙනුවට සටන තෝරා ගැනීමට එවකට සිටි සහෝදරත්වයට සිදු විය.
ලංකාවේ පසුගාමී ධනපති රාජ්‍ය යන්ත්රණයට එරෙහිව අභියෝග කරමින් නිර්ධන පාන්තිකයින්ගේ පළමු සන්නද්ධ නැඟිටීම ලෙස ඉතිහාසගතව ඇත්තේ 1971 අරගලයයි. ජ.වි.පෙ. බිහිවන යුගය වූ 60 දශකය යනු ලොව පුරා විමුක්ති අරගල පැන නැඟුණු, සන්නද්ධ අරගලය විප්ලවයේ මාදිලිය බවට පත්ව තිබුණු යුගයකි. විශේෂයෙන් 1959 කියුබානු විප්ලවය පක්ෂයකින් තොරව සන්නද්ධ කණ්ඩායමක් විසින් දිනා තිබීම හා වියට්නාමයේ විමුක්ති අරගල ආදී සටන් රැසක් නිසා ලොව පුරා තරුණ රැඩිකල් විප්ලවවාදී ව්‍යාපාර සන්නද්ධ අරගලය තම සටනේ ආකෘතිය බවට පත්කරගෙන තිබුණි. ධනපති ක්‍රමය වෙනුවට නව සමාජවාදී සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ එදා 1971 අරගලයට නායකත්වය දෙනු ලැබීය. ඒ වෙනුවෙන් උත්තුංග පරමාර්ථ පෙරදැරි කරගත් විසිදහසක් පමණ වූ සැබෑ ලාංකිකයින් ජීවිත පරිත්‍යාග කළෝය.
1971 අප්‍රේලයේදී හා 1988/89 දී ජවිපෙ සන්නද්ධව නැඟී සිටියේ පැවති පාලනයන් වෙතින් එල්ලවූ මර්දනයන්ට ප්‍රතිචාරයක් වශයෙනි. 1971 ජනතා නැඟීසිටීම බිහිවීමට මූලික වූ කාරණය වන්නේ ඉතා ළදරු අවධියක සිටි ජවිපෙ මර්දනය කිරීමට සිරිමා බණ්ඩාරනායක හා පැරණි වමේ පක්ෂ ගත් තීන්දු තීරණ මතය. එවකට ලංකාවේ පැවති මජර දේශපාලන ක්‍රමයට විකල්පයක් ලෙස රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ රටට හඳුන්වා දුන් අතර ඒ වටා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රොද බඳින්නට විය. මෙම තත්ත්වය දරාගත නොහැකි පසුගාමී වලව් පැලැන්තිය ජවිපෙ මර්දනය කර නවතාලන්නට උත්සාහ දැරීය.
විශේෂයෙන් 1970 අගෝස්තු 10දා කොළඹ හයිඩ් පිටියේදී ජ.වි.පෙ. පැවැත්වූ මංගල රැලියට අතිවිශාල ජනකායක් රැස්විය. මෙම රැලිය සිරිමාගේ සමගි පෙරමුණ රජය සසල කළ රැලියක් විය. ඉන් දින 02කට පසු එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කුමාර රත්නවේල් මහතාගේ අත්සනින් නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනයක සඳහන්ව තිබුණේ, “රටේ හිස ඔසවමින් සිටින චේ ගුවාරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ සතුරා වන්නේය. එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතුය”. යනුවෙනි. ජ.වි.පෙ. පිළිබඳ ධනපති ආණ්ඩුවේ ස්ථාවරය ඉන් මනාව පැහැදිලි වේ. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය වචනයට පමණක් සීමා නොවී එය ක්‍රියාවට නැගුණ බවත්, ඉන්දුනීසියාවේදී සුකර්නෝගේ පාලනයට එරෙහිව 1965 දී සිදුකළා වැනි මහා මිනිස් ඝාතනයට ආණ්ඩුව සැරසුණු බවත් අවසානයේ දී ඊට එරෙහිව සටන් වැදීම සඳහා තමන්ට අවි ගැනීමට සිදුවූ බවත් ජ.වි.පෙ. පවසන විට එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්ව තිබේ.
1971 අප්‍රේල් පහරදීමක් සඳහා තීරණය ගැනීමේදී පක්ෂ අභ්‍යන්තර ප්රතිවිරෝධතා හා විශේෂයෙන් බලයට ආශා කළ ලොකු අතුල, ධර්මසේකර වැනි කල්ලි නායකයින්ගේ ක්‍රියාකාරීත්වය දෙස බලන විට විප්ලවවාදී පක්ෂයක අභ්‍යන්තර භේද හා කණ්ඩායම්වාදය ඊට කරන හානියද නොසලකා සිටිය නොහැක. මෙම හේතූන් මත අති විශාල ජීවිත හානියක්ද කටුක පරාජයක්ද ජවිපෙට අත්විය. එහෙත් අරගලයට සක්‍රිය ලෙස මැදිහත් වූ කාහල බන්ධු සිසිල් චන්ද්‍ර වැනි සැබෑ විප්ලවවාදීන් තුළින් විදහාපෑ වීරත්වය නොසැලෙන අධිෂ්ඨානය සදාකල් විප්ලවීය හදවත් පතුලේ ගැඹුරුම තැනක රැඳී ඇත. අප්‍රේලයේ ඒ සැබෑ අරගලකරුවන්ට විප්ලවීය ආචාරය..!!
1-1