දෙවැනි වරටත් අමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමස්ත ලෝක දේශපාලන බල ක්ෂේත්රයට ගල් ගසමින් තිබේ. සැබවින් ම එය දෙබරයකට ගල් ගැසීමට සමාන ය. ඔහු විසින් ගනු ලබන සමාජ, දේශපාලනික, ආර්ථික තීන්දු හේතුවෙන් සමස්ත ගෝලීය දේශපාලනය ම එක්තරා අන්දමකට සසල වී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමස්ත ලෝකයට ම බලපාන පරිදි වන බදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ද යම් ආකාරයක ආර්ථික ක්ෂේත්රයට බලපෑමක් ඇති වී තිබේ. මේ නිසා ලෝකය පුරා හට ගෙන ඇත්තේ එක්තරා වෙළෙඳ යුද්ධයකට (Trade war) සමාන තත්ත්වයකි. මෙය අමෙරිකානු ජනාධිපතිවරයාගේ රැඩිකල් දේශපාලනික තීන්දුවක් ලෙස අර්ථ ගැන්වුණ ද, එය අමෙරිකානු ජන සමාජය පවා වික්ෂිප්ත කරවන තීරණයක් වී තිබේ. ට්‍රම්ප් විසින් මේ බදු ප්‍රකාශිත දිනය නම් කොට ඇත්තේ ‘විමුක්තියේ දිනය’ ලෙසයි. එමඟින් ඔහු එය ගෝලීය ආර්ථික වෙළෙඳපොළ අමෙරිකානු අධිපතිභාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස නම් කර තිබිණි.
අමෙරිකාවේ නව බදු ප්‍රතිපත්තිය සහ එහි සමාජ බලපෑම පිළිබඳ විවිධ සමාජ කථිකා සිදුව ඇති අතර, ඒ පිළිබඳ තවත් නිශ්චිත පුරෝකථනයන් කිරීමට අපි අදහස් නොකරමු. එහෙත් මෙහි ඇති සමාජ බලපෑම සහ එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය හඳුනා ගැනීම සඳහා ජනාධිපති උපදේශක කමිටුවක් ද පත් කෙරිණි.
වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ කිසිදු රටකට හුදෙකලා වී සිටිය නොහැකි අතර, මහා පරිමාණ ධනවාදී රාජ්‍යයන්ට පවා සෙසු කුඩා රාජ්‍යයන් සමඟ ආර්ථිකමය වෙළෙඳ ගනුදෙනු කිරීමට සිදුව ඇත. එබැවින් අධි තක්සේරුව යනු මේ මොහොතේ කිසිදු රාජ්‍යයක පැවැත්මක් ඇති නොකරන කාරණයකි.
ඩිජිටල්කරණය වූ ගෝලීය වෙළෙඳපොළ තුළ ඕනෑ තරම් නව වෙළෙඳපොළ අවස්ථා හා නව වෙළෙඳ සබඳතා නිර්මාණය වන අතර, ඒ ඔස්සේ වෙළෙඳ හවුල් ද නිර්මාණය වේ. මේ වන විටත් ගෝලීය බල දේශපාලනය තුළ අමෙරිකානු විරෝධී ප්‍රතිපත්තියට අදාළ ඉඩ නිර්මාණය වන්නේ ඒ හේතුවෙනි. ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තියට අමෙරිකානු ජන සමාජයෙන් ද එල්ල වූ බරපතළ ප්රතිවිරෝධය මේ සඳහා එක්තරා තවත් ප්‍රබල උදාහරණයකි. එනම්, අමෙරිකානුවන් ද ප්‍රතික්ෂේප කරන බදු ප්රතිපත්තියකින් ට්‍රම්ප් අමෙරිකාවට උදා කරන්නට හදන්නේ කවර නම් වූ විමුක්ති මාර්ගයක් ද?
ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශ මඟින් නිරූපණය වන්නේ බල දේශපාලනය තුළ ලෝක පොලිස්කාරයකුගේ හැසිරීමයි. තනි ලෝක මහා බලවතකු ලෙස අමෙරිකාවට හැසිරීමට හැකියාව ලැබුණේ ලෝක සමාජවාදී කඳවුර බිඳවැටීම හේතුවෙනි. 1991ට පෙර ලෝකය තුළ අමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියා සමූහාණ්ඩුව ප්‍රමුඛ සමාජවාදී බල කඳවුර දේශපාලනික බල තුලනයේ කැපීපෙනෙන සාධක බවට පත්ව තිබිණි. සමාජවාදී බල කඳවුර බිඳවැටීමත් සමඟ අමෙරිකාවේ තනි ආධිපත්‍යය ලෝකය හසුරවන බවට මෙය එක් සාධකයකි.
උපක්රමික දේශපාලනය වැදගත් වන්නේ මෙවැනි අවස්ථාවලදී ය. ආර්ථික ක්‍රියාවලිය තුළ චීන මැදිහත් වීම සහ ඉන්දීය මැදිහත් වීම වඩා වැදගත් ලෙස කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මෙවැනි වටපිටාවකදී ය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අන්තර්ජාතික සංවිධාන ගොඩනඟා ගනු ලැබුවේ යළි යටත්විජිත තත්ත්වයක් හෝ දේශපාලනික බලහත්කාරකමක් හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හෝ බලවත් රාජ්‍ය වෙතින් පීඩිත රාජ්‍යයන්ට එල්ල වීමක් වළක්වා ගැනීම පිණිස ය. එසේ නම් මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධානවල පවා සාකච්ඡාවට ගත යුතු කාරණයකි.
අප ජීවත් වනුයේ ඩිජිටල් තාක්ෂණික ලෝකයක ය. එහි තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග ගත යුත්තේ ඊට සරිලන සහ ගැළපෙන ආකාරයට ය. ගෝත්‍රික ජන සමාජවලදී මෙන් භාව විෂයයික නැති නම් හැඟුම්බර අන්තගාමි වාර්ගික බවකින් තීන්දු තීරණ ගත නොහැකි ය. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනික හැසිරීම සහ භාවිතය තුළ නිරූපණය කරන්නේ එවැනි අන්තවාදි ගෝත්‍රික ස්වරූපයකි.
ප්රජාතන්ත්රවාදයේ මහ දෙවොල ලෙස හැඳින්වෙන අමෙරිකා එක්සත් ජනපදය තුළ මීට පෙර තිබූ දේශපාලනික දූරදර්ශිභාවය, මානව අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය මේ වන විට උඩු යටිකුරු වී ඇති බවට මේ සිදුවීම් කදිම සාක්ෂියකි. ඔහුගේ අමෙරිකානුකරණය හා අමෙරිකානු උන්මාදය ලෝකයේ සෙසු රටවලට පීඩාවක් බවට පත් වන විට අමෙරිකානු ජන සමාජයෙන් ම ඊට ප්රතිවිරෝධය එල්ල වනු ඇත. ට්‍රම්ප් මුහුණ දී ඇත්තේ බලය අත්පත් කර ගැනීමට වඩා, බලය පවත්වා ගැනීම අසීරු බව නිරූපණය කරන දේශපාලනික උභතෝකෝටිකයකටය.
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වර ජනපති කිරීමේ මෙහෙයුමේ කැපී පෙනෙන සාධකයක් වූයේ ඊලෝන් මස්ක් ය. මේ බල දේශපාලනික වුවමනාව ඒ හා සමඟ සමපාත වූ බවක් ද හැඟේ. එනයින් මෙය, ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ හිතෛෂී ඊලෝන් මස්ක්ගේ ඒ.අයි. ආර්ථික මොඩලය ක්‍රියාත්මක කරවීම හරහා ලෝකයේ පරිධියේ රටවල් තමාට අභිමත පරිදි හසුරවා ගැනීමේ උපක්රමික තීරණයක් ලෙස ද තේරුම් ගත හැකි ය. විශේෂයෙන් ම, තමන්ට අභියෝගයක් වූ, ලෝක දේශපාලනික බලවතකු ලෙස වර්ධනය වන චීනය හසුරවා ගැනීමේ උපක්රමික දේශපාලනික භාවිතයක් ලෙස ද හඳුනාගත හැකි ය. කෙසේ නමුත් එකී තීරණයේ ප්‍රතිඵල බොහෝ ඉක්මනින් දෘශ්‍යමාන වීමට නියමිත ය.
මීටත් වඩා දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් සංවේදී දේශපාලනික තීන්දු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරියේදී ගනු ඇත. ආසියානු කලාපය තුළ ස්වකීය බලය තහවුරු කර ගැනීම සඳහා වන තීන්දු ගැනීමට ද ඔහු පසුබට නොවනු ඇත. වඩා වැදගත් වන්නේ මේ මොහොතේ එය දේශපාලනිකව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අප සතු වන දේශපාලනික සමත්කම කොතරම් ද යන්නයි. එය කමිටු පත් කිරීමෙන් ඔබ්බට ගිය, ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට ද පත් විය යුතු ම ය.
සමාජය යනු දේශපාලනික රසායනාගාරයකි. ඒ තුළ ඇති වන වෙනස්වීම් විපර්යාස, විද්‍යාගාර පර්යේෂණාගාරයක මෙන් එක්වර නිරූපණය නොවනු ඇත. සමාජ පර්යේෂණාගාරය තුළ විවිධ නරක පන්නයේ අත්හදා බැලීම්වලට යෑමෙන් ඇති වන ප්‍රතිඵල කවරේ ද යන්න අමෙරිකානු ජන සමාජය මෙන් ම සමස්ත ලෝක ජන සමාජය ද ප්‍රායෝගිකව පෙන්වා දෙනු ඇත. දැන් ඇත්තේ එකී සමාජ පර්යේෂණාගාරය තුළ තත්ත්ව නිරීක්ෂණය කරන කාලසීමාවයි. එහි නිගමන ඉදිරියේදී අපට දැක ගත හැකි වනු ඇත.
මේ තත්ත්වය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ අමෙරිකානු ජන සමාජයට පමණක් නො ව, ගෝලීය බල දේශපාලනයේ සියලු සාධකවලට එක සේ වලංගු ය.