Home » චාමර සම්පත්ට ඇප

චාමර සම්පත්ට ඇප

by yasara
April 8, 2025 11:42 am 0 comment

ඌව පළාත් සභාවට අයත් බදුල්ල ජාතික ඉතුරු කිරීම්  බැංකුවේ කල් පිරීමට තිබූ ස්ථිර තැන්පතු ඉවත් කර ගෙන රජයට ලක්ෂ 173 ක පාඩුවක් සිදුකිරීමේ  සිද්ධියක් සම්බන්ධයන්  රක්ෂිත බන්ධනාගාරගතව සිටි  බදුල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රුපියල් මිලියන 2 බැගින්  වූ ශරීර ඇප පහක් සහ රුපියල් පනස්දාහක මුදල් ඇප මත මුදා හරින ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (8) නියෝග කළාය.

සිද්ධියට අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළාය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීති සුලෝචනා මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් වී ඇති බවට  අධිකරණයට  කරන ලද කරුණු  දැක්වීමෙන්  අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

ඌව පළාත් සභාවට අයත් පෙර පාසල් දරුවන්හට පාසල් බෑග් ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ජාතික ඉතුරු කිරීම් බැංකුවෙන් අරමුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියද එම බැංකුව  මගින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස කල් පිරීමට නියමිතව තිබූ ස්ථිර තැන්පතු ඉවත් කරගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

අද උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර උදෑසන 11 ට පමණ නඩුව කැඳවනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

2016 වර්ෂයේ සමන්ත විද්‍යාරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තා 3 ක් යටතේ  චෝදනා ගොනුකර තිබුණි.

ඌව පළාත් සභාවේ හිටපු  ප්‍රධාන ලේකම් ඇතුළු සිද්ධියට අදාළ සියලුම සාක්ෂිකරුවන්ගෙන් සතියක් ඇතුළත ප්‍රකාශ ලබාගෙන විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය පෙර නඩු දිනයේදී   කරන ලද නියෝගයට අනුව මූලික විමර්ශන කටයුතු අවසන් වී තිබිණි.

ඌව පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබා දෙන බව පවසමින් එම බලා සභාවට අයත් රුපියල්  මිලියන 26 කට ආසන්න මුදලක් චාමර සම්පත් දසනායක පදනමට බැර කළ බව කියන සිද්ධියක් මෙම සැකකරු හට ශරීර ඇප සහ මුදල් නියම කර තිබුණී.

ඌව පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබා දෙන බව පවසමින් එම පළාත්  සභාවට අයත් බදුල්ල ලංකා බැංකුව මගින් ලබාගත් ලක්ෂ දහයක මුදල චාමර සම්පත් දසනායක පදනමට බැර කර ගැනීම ,  මහජන බැංකුවේ තිබුණු ලක්ෂ විසි පහක අරමුදලක් චාමර සම්පත් දසනායක පදනමට බැර කර ගැනීම සහ ජාතික ඉතුරු කිරීම් බැංකුවේ අරමුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකරු හට ලබා නොදීම හේතුවෙන් කල් පිරීමට නියමිතව තිබූ ස්ථාවර ගිණුම් කල් පිරීමට පෙර ඉවත් කරගෙන රජයට ලක්ෂ 173 ක පාඩුවක් සිදුකිරීම යන චෝදනා තුන යටතේ නඩු ගොනුකර තිබුණි.

සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය පෙනී සිටි ජනාධිපති නීතිඥ  කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කරනු ලැබුවේ,” ස්වාමීනි, තම සේවා දායකයාට ඊයේ දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොනු කර තිබූ නඩුවකට මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරර තිබෙනවා, ඒ නිසා මෙම නඩුකරයට ඇප ලබා දෙන්න” යනුවෙන් අධිකරණයෙන් ඉල්ලීය.

“ස්වාමීනි තම සේවා දායකයා හට පාර්ලිමේන්තු කටයුතු පවතින බැවින්  ඒ සඳහා යොමු කරන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලනවා “යනුවෙන් සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම සිද්ධියට අදාළව පොදු දේපළ පනත යටතේ වරදක් අනාවරණය වී තිබේ නම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයකදී  මහේස්ත්‍රාත්වරිය  විසින් නියෝග කර තිබුණී.

ඒ අනුව දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර නඩු කටයුතු අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තු කටයුතු සඳහා යොමු කරන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

මීලඟ නඩු දිනය ජුනි 17 කැඳවනු ලැබීය.

(කල්පනී අබේසිංහ )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT