මහනුවර ක්‍රීඩා සමාජයේ සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු වන නයිජල් රත්වත්ත සහ සුහිරු ඇන්තනී ඊයේ පැවති ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයෙන් පසු ක්‍රීඩා සමාජ රග්බි පිටියෙන් සමුගත්හ.
ත්‍රිත්ව විදුහලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයකු වන නයිජල් රත්වත්ත සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයෙන් අන්තර් සමාජ තරග බිමට පිවිස පුරා වසර 15ක කාලයක් මෙරට අන්තර් සමාජ ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් පෑවේය. වසර 12ක් පුරා මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ නයිජල් ඊට පෙර කෙටි කාලයක් අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සත් සාමාජික සහ 15 සාමාජික රග්බි පිටියේ පෙරළිකාර ක්‍රීඩකයකු බවට පත්වී සිටි අතර, මහනුවර ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසත් කලක් කටයුතු කළේය.
බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ රග්බි ක්‍රීඩාවට එක්වූ සුහිරු ඇන්තනී වසර 14ක ජාත්‍යන්තර හා ක්‍රීඩා සමාජ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු විය. ඔහු වසර 2011 දී පළමු වරට නාවික හමුදා ක්‍රීඩා සමාජයට එක්වී රග්බි පිටියේ සිය දස්කම් මුවහත් කරගත් අතර, සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයට එක්වීමට පෙර කලක් මහනුවර ක්‍රීඩා සමාජය ද නියෝජනය කළේය. පසුගිය වසරේ තරග වාරයේදී අන්තර් සමාජ ලීග් ශූරතාව වසර 26කට පසු සීආර් පිලට අත්කර දීමට නායකත්වය ගත් සුහිරු ඇන්තනී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සත් සාමාජික සහ 15 සාමාජික රග්බි පිටියේ කැපී පෙනෙන දස්කම් පෑවේය.