අලුත්ගම, දේවාල පාරේ නිවෙසකින් රුපියල් ලක්ෂ 40කට ආසන්න ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂ 4කට වැඩි වටිනාකමින් යුතු දෙස් විදෙස් මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව බාල වයස්කාර දරුවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු අලුත්ගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනිණි.
මෙම සැකකරුවන් බේරුවල, කාලවිල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී සොරා ගන්නා ලද ස්වර්ණාභරණ හා මුදල්වලින් කොටසක් ද සොයාගෙන තිබේ. මෙහි පැමිණිලිකාරිය රැකියාව වශයෙන් විදේශීය සංචාරකයන්ට ඇඳුම් ඇතුළු භාණ්ඩ අලෙවි කරන අයකු වන අතර, ඇය නිවෙසින් පිටව ගිය පසු නිවෙසේ සිටි 12 හැවිරිදි දියණිය රවටා නිවෙසට ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇතැයි පොලීසිය පැවසීය. මෙය 16 හැවිරිදි පිරිමි දරුවා සහ ඔහුගේ සොහොයුරා සැලසුම් කර සිදු කළ සොරකමක් බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.