උත්සව සමයේ ගමන් බිමන් යන මගීන් අපහසුතාවට පත් කරමින් කුරුණෑගල බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථවල ආසන වැඩි මුදලට වෙන්කර බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන බව මගීහු පවසති.
මෙසේ ආසන වෙන් කර ගනු ලබන්නේ කුරුණෑගල සිට අනුරාධපුර වැනි දුර ගමන් බස් රථවල බවත් මෙම බස් රථ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් නොවන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් පාලනය කරන බස් රථ බැවින් ඔවුන්ට අවශ්‍ය පරිදි ගමන් කරන බව මගීහු චෝදනා කරති. මේ ආකාරයෙන් පිටුපස ආසනවල බඩු පුරවා තිබීම නිසා පෝලිමේ එන මගීන්ට බස් රථයේ ආසන නොමැතිවීම හේතුවෙන් අපහසුතාවට පත්වන බව ද ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව අප කළ විමසුමකදී වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් බස් රථ පිවිසුමක් ලබා ගනිමින් ගමන් ආරම්භ කරන අතර වේලාව සටහන් කිරීම පමණක් මගී ප්‍රවාහන අධිකාරියෙන් සිදු කරන අතර වෙනත් කිසිදු උපදෙසක් දැනුම්වත් කිරීමක් සඳහා කිසිදු බලයක් නොමැති බවයි. මගීන්ට සිදුවන අපහසුතාවන්වලදී 1955 අමතා සිදු වු අපහසුතා පිළිබඳව පැමිණිලි කළ හැකි බවද ඔහු පැවැසීය.