පේරාදෙණිය පොළ භූමියේ නිත්‍යානුකූල වෙළෙඳාම් කළ වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ගඟවටකෝරළය ප්‍රදේශීය සභාව ගෙන ඇති තීරණ හේතුවෙන් වෙළෙඳාම් කටයුතුවල නිරත වූ වෙළෙන්දෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.
පේරාදෙණිය පොළ භූමිය අලුත්වැඩියා කොට වැඩි වෙළෙඳුන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදීමට සැලසුම් කොට ඇති හෙයින් මෙම වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගත් බව ගඟවටකෝරළය ප්‍රාදේශීය සභාවේ ලේකම් මහින්ද එදිරි සූරිය මහතා පවසයි.
එළඹෙන අවුරුදු සමයේදී මෙම පොළ භූමිය කඩා ඉවත්කළොත් තම පවුල් අසරණ වන බවත්, එහෙයින් අවුරුදු දින කිහිපය තුළ වෙළෙඳාම තුළින් ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසත් තමන් විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමින් ප්‍රාදේශීය සභාව විසින් අසාධාරණ ලෙස ගත් මෙම තීරණය හේතුවෙන් වෙළෙඳාම මඟින් ජීවිකාව රැකගත් පවුල් රැසක් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව සිටින බව එම වෙළෙන්දෝ පවසති.
මෙම උත්සව සමයේ සිය වෙළෙඳ කටයුතු පවත්වාගෙනයාමට ඉඩ සලසා දෙන ලෙසත් අලුත් අවුරුදුවලින් පසු ඕනෑම තීරණයක් ගන්නා ලෙසත් වෙළෙඳුන් ප්‍රාදේශීය සභා ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද වෙළෙන්දෝ චෝදනා කරති.
වෙළෙඳුන්ට මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝග කර සභා ලේකම්වරයා විසින් නිවේදනයක් මඟින් පවසා ඇත්තේ පේරාදෙණිය පොළ භූමිය අලුත්වැඩිය කොට වැඩි වෙළෙඳුන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදීමේ අරමුණිනි.
නමුත් වෙළෙඳුන් පවසන්නේ එම යෝජනාව හොඳ වූ නමුත් මෙම අවුරුදු සමයේදී තමන් මෙම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා පවුල් ගණනාවක් අවුරුදු සමයේ අසරණ වන බවය. මෙම ඉල්ලීම සභා ලේකම්වරයා පිළිනොගැනීම නිසා පෙරේදා (05) රාත්රියේදී තමාට මෙම ස්ථානයෙන් ඉවත්වීමට සිදුවූ බව ඔවුහු පවසති.
කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සඳහන් කරන්නේ වෙළෙඳුන් සුළු පිරිසක් මුළු පොළ භූමියම අත්පත් කරගෙන වෙළෙඳාම් කිරීම පිළිබඳව පසුගිය කාලයේ සභාව වෙත දිගටම පැමිණිලි ලැබුණු බවත්, එම පැමිණිලි අනුව මෙම ඉවත් කිරීම සිදු කරන බවත්ය. ඒ සඳහා මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බව ද ඔහු පැවැසීය.
මෙම පොළ අළුත්වැඩියා කර ඉන්පසු වෙෙළඳාම් කිරීම සඳහා යළි විවෘත කරන බැවින් මාර්තු මස 24 වැනි දිනට පෙර බඩු බාහිරාදිය ඉවත් කරගෙන පොළ භූමියෙන් ඉවත් වන ලෙස මෙම වෙළෙඳුන්ට ප්‍රාදේශීය සභා ලේකම්වරයා විසින් දැනුම්දී ඇත. නමුත් අවුරුදු සමය නිසා මෙම වෙළෙඳුන් පෙරේදා (05) වනතුරුම එහි රැඳී සිටියේය.
පේරාදෙණිය නගරයට ඇති එකම වෙළෙඳපොළ වන මෙම ස්ථානය පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාව විසින් යම් නවීකරණයන්ට ලක් කෙරුණද වෙළෙඳුන්ට හෝ පාරිභෝගික ජනතාවට කාලයට ගැළපෙන අයුරින් පහසුකම් සැපයීමට අපොහොසත් වූ බවට මෙහි වෙළෙඳුන්ගෙන් චෝදනා එල්ල විය.
අවුරුදු සමයේ මෙම වෙළඳපොළ ඉවත් කිරීම පිළිබඳව මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගෙන් විමසීමේදී ඇය සඳහන් කළේ ගඟවටකෝරළයේ ප්‍රාදේශීය සභාව මඟින් සිදු කර ඇති ඉල්ලීමට අනුව සුදුසු පියවරක් ගන්නා ලෙස දැනුම් දුන්නද මෙම අවුරුදු සමයේ එම වෙෙළඳසල් කඩා ඉවත් කිරීමට උපදෙස් ලබා නොදුන් බවයි.