අම්පාර මහා රෝහලේදි අඩු බර උපත් දරුවන් පස් දෙනෙකු සාර්ථක සිසේරියන් සැත්කම් දෙකකින් බේරා ගැනීමෙන් අනතුරුව අම්පාර මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් පස්දෙනා එම මවුවරුන් දෙදෙනාට නැවත භාරදීම ඊයේ (06) සිදුකරනු ලැබීය.
මාර්තු 15 වැනිදා අම්පාර මහ රෝහලේ ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් දරු ප්‍රසුතිය ඇතිවූ මවකට සිසේරියන් සැත්කමක් සිදු කළ අතර එම මවට නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර එම දරු දෙදෙනාම සති 30 කාලයකදී ලැබුණු නිසා නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබීය.
ඉන් පැයකට පසුව සමන්තුරේ සිට අම්පාර මහ රෝහලට හදිසියේ එවන ලද මවකටද දරු ප්‍රසුතිය ඇතිවූ අතර එම මවටද හදිසියේම සිසේරියන් සැත්කමක් සිදුකර අති අතර එම මවට තුන් නිවුන් දරුවන් ලැබී ඇත. එම දරුවන් සති 29ක කාලයක දරුවන් වීම නිසා එම දරුවන් ද නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබේ.
එසේ ළදරු දැඩි සත්කාර ඒකකයට යොමු කරන ලද දරුවන් පස්දෙනා අම්පාර මහ රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ දින 22ක කාලයක් අවශ්‍ය ප්‍රතිකාර ලබාදී නියමිත බර පැමිණීමෙන් පසුව මවුපියන්ට භාරදීම සිදුකරනු ලැබීය.
අම්පාර වැනි රෝහලක එක් දිනකදී එවැනි දරු උපත් සිදුවීම විරල සිද්ධියක් බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
මෙම දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කළ අම්පාර මහා රෝහලේ ප්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥ තරිඳු එදිරිසූරිය සහ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහත්වරුන් ඇතුළ සියලුම වෛද්‍යවරුන්ට හෙද කාර්ය මණ්ඩලයට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුදෙනාටම ස්තුතිවන්ත වෙන බව එම මවුවරුන් පැවසීය.