- 1971දී වුණේ කැරැල්ලක් නොව මර්දනයට එරෙහිව ඇති වූ සන්නද්ධ ප්‍රතිචාරයක්
- මෝදි අගමැතිවරයා පැමිණීම අපට ගෞරවයක්
- සතුරන් කුමක් කීවත් ජයග්‍රහණය ඒකාන්තයි
සතුරන් කුමන කතා කීවත් රට ජයග්‍රහණය කරා රැගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
1971දී සිදු වුණේ කැරැල්ලක් නොව මර්දනයට එරෙහිව ඇති වූ සන්නද්ධ ප්‍රතිචාරයක් බවත් ක්‍රියාවක් නොව ප්‍රතික්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (05) පැවති 54 වැනි අප්‍රේල් විරු සමරුවට එක්වෙමිනි. අනුරාධපුර, දොඩංගොඩ, අඟුණකොළපැලැස්සේදී මෙය පැවැත්විණි. මේ අවස්ථාවට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස මියගිය සහෝදර, සහෝදරියන්ට පුෂ්පෝපහාර දැක්වූහ.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
එදා ඇති වූ එම තත්ත්වයේ වගකීම භාරගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ නමැති ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට කටයුතු කළ කණ්ඩායමයි. ‘අප මරා දැමුවද අපේ හඬ නොමියෙනු ඇති බව’ එදා රෝහණ විජේවීර සහෝදරයා ප්‍රකාශ කළා.
1971 පරපුර සටන් වැදුනේ තමන් වෙනුවෙන් නොවෙයි. පොදු ජනයාගේ සමාජයක යහපත වෙනුවෙනුයි. ඒ සඳහා ජීවිතය වුවත් පුදන්නට හැකි යැයි පෙන්වූ පරපුර ඒ පරපුරයි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරණුයේ ඔවුන් වෙනුවෙන් නොව රට වෙනුවෙනුයි. ඒ සඳහා 1971 සහෝදර සහෝදරියන්ගේ ආදර්ශය ඉතා වැදගත් වෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව අති විශිෂ්ට ජයග්රහනයක් ලබාගත යුතුයි. එකතු කරගත හැකි සියලු දෙනා මෙම ව්‍යාපාරය සමඟ එකතු කරගෙන පුළුල් කරගත යුතු වෙනවා.
පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, හොරකම් කළ වත්කම් නැවත පවරා ගැනීමේ නීති ඉදිරියේදී ගෙන එනවා. වාහන පර්මිට් නවතා තිබෙනවා. හොරු ඇල්ලීමට මේ රටේ ආයතන පද්ධතියක් අතීතයේ වගේ බාධා නොමැතිව දැන් ක්‍රියාත්මක වෙනවා. අපේ බලයක් ආවොත් පෙරහර කරන්න ඉඩ නොදෙන බවට විපක්ෂයේ පිරිස එදා අපට චෝදනා කළා. හැබැයි අද දළදා වහන්සේගේ ප්‍රදර්ශනයක් තියෙනවා. ඒක වර්ජනය කරන බවට විපක්ෂයේ පිරිස ප්‍රකාශ කරනවා. පුදුම බෞද්ධයො. ඔවුන් තවත් කරන්නෙ බොරු කීම. කවදාවත් හැදෙන්නෙ නැහැ. ‘ඔයගොල්ලන්ට අපව පරද්දන්න අවශ්‍ය නම් අපට වඩා ශිෂ්ටසම්පන්න ව්‍යාපාරයක් හදන්න’ කියා ජනාධිපති සහෝදරයා වරක් විපක්ෂයට ප්‍රකාශ කළා. අපේ රටේ තිබූ අශිෂ්ටත්වය පරදා ශිෂ්ටත්වය ගෙනාවෙ අපි. පගා ඉල්ලපු මන්ත්‍රීවරු, ඇමැතිවරු, අගමැතිවරු, ජනාධිපතිවරු හිටිය රටක් මේක. අප ඒ තත්ත්වය දැන් නවත්වලා තියෙනවා. ඒ තත්ත්වය ලෝකයේ ප්‍රබල රටවල් පිළිගෙන තිබෙනවා. මහින්ද සියලු වරප්‍රසාද ගත්තා. අප එසේ නොවෙයි, ජනතාවට සහන දෙනවා. අපට අවුරුදු 05කට ජනතාව බලය දී තිබෙනවා. ඉන් පසුවත් ජනතාව අපට ලබා දෙයි කියා අප විශ්වාස කරනවා. අප ගැහැනු, පිරිමි සියල්ල එක මිටට එකතු වෙමු. 1971 සහෝදරවරු මියයන විට දුටු සිහිනය අපි ඉටු කරමු. මේ සමාජය සැබෑ මිනිසුන් ජීවත්වෙන සමාජයක් බවට පත් කරමු.
ඔබ අප රැස් වෙලා ඉන්නෙ මීට අවුරුදු 54කට කලින් අද වගේ දවසක අයිතීන් වෙනුවෙන් දිවි පිදූ පරම්පරාවක සහෝදර, සහෝදරියන් අනුස්මරණය කරන්න. අප හැමදාම කිව්වේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන බව. අද විශේෂ දවසක්. ඔවුන්ගේ ව්‍යාපාරය ජයග්‍රහණය කර අවසන්. දැන් අපේ අරමුණ මේ රටේ ජනතාවට වඩා හොඳ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදා දීමයි. අප මේ වන විට ජයග්‍රහණය කළා වගේම මේ රට හදන්නත් සූදානම්.
අප ඉදිරියේ පරාජයට පත්වූ සතුරෝ මේ වන විට කෝපයෙන් කෑ ගහනවා. සමහරු දුකෙන් හඬා වැලපෙනවා. සමහරු කෙඳිරිගානවා. ඔවුන් අපේ ජයග්‍රහණය බිඳවැටෙයි කියා හීන දැක දැක ඉන්නවා. අපි ඔවුන්ට කියන්නෙ අප පිහිටෙව්වෙ නිකම්ම, නිකන් ආණ්ඩුවක් නොවන බව. අප මේ රට වෙනස් කිරීම අරමුණු කරගත් මහ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක නායකත්වයෙන් විශාලම මහජන ව්‍යාපාරයක් හදල මේ රට වෙනස් කිරීමේ ගමනක් ආරම්භ කර තිබෙනවා. අපට අලුත් සමාජයක් හදන්න අවශ්‍යයි. එම සමාජය නිර්මාණය කිරීම සඳහා අප අනිවාර්යයෙන් වැඩ කරනවා, සටන් කරනවා. අප ආපසු හැරෙන්නෙ නැහැ කියන සහතිකය ලබාදෙනවා.
අපට විවිධ අභියෝග තිබෙනවා. පසුගිය අවුරුද්දෙ අප භාර ගත්තේ සාමාන්‍ය රටක් නොවේ, බිංදුවට වට්ටපු රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කළ රටක්. මේ රට එතෙන්ට පත් කළ බලවේග අද ඒක අමතක කර තිබෙනවා. ඔවුන් කතා කරන්නෙ හරියට අපට ස්වර්ගය භාර දුන්නා වගේ. එම සතුරු බලවේග වට්ටපු රට අපට ගොඩනැඟිය හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා. ලෝකයේ ඉහළින්ම තිබෙන රටක් බවට මේ රට පත් කරනවා. අපේ මියගිය සහෝදරවරුන් ප්‍රාර්ථනා කළ ඒ නව ලෝකය නිර්මාණය කරනතුරු අප ආපසු හැරෙන්නේ නැහැ.
1971 අරගලය වෙලාවේ මේ දේශපාලනය පිළිබඳ විශ්වාස කළ අය හිටියෙ ඉතා ටික දෙනයි. පොදු ජනතාව ඒ වෙලාවේ අපව හරියට දැනගෙන හිටියේ නැහැ. වර්තමානයේ මේ තත්ත්වය වෙනස් වෙලා. ජනතාව 60%කට වැඩි ප්‍රමාණයක් අපේ ක්‍රමය පිළිගෙන තිබෙනවා. අපේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ඉතා දුෂ්කර ගමන්මඟක පැමිණියා. පරාජයන්, බිඳවැටීම්, පාවාදීම්වලට මුහුණදී එය මහජන ව්‍යාපාරයක් බවට පත් කර අප ජයග්‍රහණය ලබා ගත්තා.
1971 සහ ඊට පසු පරම්පරාවට අයත් සහෝදර සහෝදරියෝ අද මෙතන සිටිනවා. අපත් සමඟ එකතු වූ පරම්පරා හතරක පමණ පිරිස් ඉන්නවා. අපේ රටේ ඉතිහාසය පිළිබඳ එකිනෙකා තමන්ට ඕන ඕන විදිහට කතා කරනවා. 1971 ඇති වුණේ මේ රටේ ඉතාමත්ම වැදගත් සංසිද්ධියක්. එදා පැවති පාලනයට, අසාධාරණයට හා අයුක්තියට එරෙහිව තරුණ පරම්පරාවක අවි ගත් නැඟිටීමක් තමයි එදා සිදුවුණේ. ඇයි ඔවුන් අවි ගත්තෙ. 1965 රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ රටේ වාමාංශික අදහස් තිබූ තරුණ, තරුණියෝ එකතු වෙලා කතාබහ කර අපේ රට වෙනස් කරන්න, මේ රටේ ජනතාවගේ ඉරණම වෙනස් කරන්න අලුත් දේශපාලන ව්‍යාපාරයක් හදන්න ඕනෑ කියා පටන් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණේ 1965 මැයි මාසෙ 14 වැනිදා. මේ අවුරුද්දට ජනතා විමුක්ති පෙරමුණට අවුරුදු 60ක් වෙනවා. එය ආරම්භ කළ කාලයේදීත් දේශපාලන පක්ෂ ගණනාවක් පැවතියා. සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය තිබුණා. හැබැයි ඔවුන් හිටියෙ වමේ වැඩේ කරමින් නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබුණා. මේ වන විට පීඩිත ජනතාව ඔවුන්ගෙ අතකොළු බවට පත්වෙලා හිටියේ. මේ පිරිස ස්වාධීනව පන්තියක් ලෙස එක් කිරීම එදා ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් වුණා. අපේ පන්තිය වෙනම පක්ෂයක් ලෙස සංවිධානය වෙනකොටම සතුරන් එදා ආරම්භයේදීම කලබල වුණා. අපට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය උදුරා ගන්න ඔවුන් උත්සාහ කරනවා. එතන ගැටලුවක් වුණා. නැතුව ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වුණේ අරගල කරන්න, ආයුධ ගන්න බලාගෙන නොවෙයි. අපේ ක්‍රමය වුණේ ජනතාවගේ කැමැත්තෙන් බලයට පැමිණ රට වෙනස් කිරීම. ජනතා විමුක්ති පෙරමුණට ආරම්භයේදී සී.අයි.ඒ. ලේබලය ද අලවනවා. මේක තරුණයන් බාගන්නා කෙමනක් කියා එදා සතුරන් කියනවා. අපට එරෙහිව මර්දනය පටන් ගන්නවා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්නවා. පසුව නිදහස් වී පැමිණි පසු ජනතා විමුක්ති පෙරමුණේ මංගල මහ රැලිය තිබ්බෙ කොළඹ හයිඩ්පාර්ක් එකේ 1970 අගෝස්තු මාසෙ 10 වැනිදා. අප රැස්වීම් රට පුරා තියනවා. චේගුවේරා ව්‍යාපාරය මුලිනුපුටා දැමිය යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදන නිකුත් කරනවා. 1971 පෙබරවාරි 22 හයිඩ්පාර්ක් එකේ එදා අවසන් රැස්වීම ද තියෙනවා. ආණ්ඩුවේ මර්දනය නිසා එදා දේශපාලනය කරන්න නොහැකි මට්ටමක් ඇති වුණා. අපි මේ තත්ත්වය වැළැක්වීමට කටයුතු කළා. මේ තරුණ කොටසද රටේ ඉදිරි ගමනට එක් කරගත යුතු බවට පී. ද එස්. කුලරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ද කියෙව්වා. හැබැයි සිරිමාවෝ බණ්ඩාරනායකලා ඒ ගැන හිතුවේ නැහැ. ඒ වන විට මර්දනය දරුණු වූ නිසා ආත්මාරක්ෂාවට අවි ගන්න තීන්දු කළා. දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් සිට මිය යෑම උතුම් බව අප එදා විශ්වාස කළා. රෝහණ විජේවීර සහෝදරයාව නැවත අත්අඩංගුවට ගෙන යාපනයේ රඳවනවා. 1971 මාර්තු මළමිනී මරණ පරීක්ෂණයෙන් තොරව වැළලීමේ නීතියක් ගෙන එනවා. එදා එක්සත් ජාතික පක්ෂය මර්දනය පටන් ගත්තා. එය අඛණ්ඩව සමගි පෙරමුණ අරගෙන ගියා. ඒ මර්දනයට එරෙහිව තමන්ට දේශපාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් සටන් කර මිය යන්න සූදානම් කියා ධෛර්යයෙන් සටන් වැදීමක් තමයි 1971 සිදුවුණේ. 1971 සිදුවුණේ කැරල්ලක් නොවේ. මර්දනයට එරෙහිව ඇති වූ සන්නද්ධ ප්‍රතිචාරයක්. 1971 ක්‍රියාවක් නොවේ, ප්‍රතික්‍රියාවක්. එහි වගකීම භාර ගන්න ඕනෑ ජනතා විමුක්ති පෙරමුණ කියන ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යාපාරය මර්දනය කරන්න හදපු කණ්ඩායම. සුබවාදී මිනිස්සු තමයි ජනතා විමුක්ති පෙරමුණේ හිටියේ. දිනන්න පුළුවන් කියන විශ්වාසය 1971 අපට ලැබුණා. එදා හිරගෙදර බිත්තියේ අපේ සහෝදරයකු ලිව්ව කවියක් මට මතකයි.
පිපි මල් පරව විසිරී ඇත දෙරණ මත
විහිදූ සුවඳ ඉදිරියටත් මියෙනු නැත
ඔපවත් කරන්නට ඒ සුවඳ අපරිමිත
නිම්නැති තරම් පිබිදෙන්නට කැකුළු ඇත
අපගේ එම විශ්වාසය ඵල දැරුවා.
අප මේ වන විට සමත් වී තිබෙනවා මේ රටේ ජනතාවගේ සහයෝගයෙන් මැතිවරණ දෙකකින් බලයට එන්න. ඒ බලය මැයි 06 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ද නැවත තහවුරු කරනවා කියන විශ්වාසය අපට තිබෙනවා. මේ දිනවල කොටසක් කෑ ගහනවා මාලිමාව විසින් මෝදිට රට පාවා දෙන්න හදනවා කියා. මේක ලොකුම විහිළුවක් ලෙස පෙන්වාදිය හැකියි. රටේ විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ පරම්පරාවක් නියෝජනය කරන කණ්ඩායමක් කාටවත් රට පාවා දෙයිද? අප මේ රට කිසිවකුට පාවා දෙන්නෙ නැහැ. මෝදි අගමැතිවරයා පැමිණීම අපට ගෞරවයක්. අප දැන් ජීවත් වෙන්නේ ස්මාට් පරපුරක් එක්ක. නවීන තාක්ෂණයත් එක්ක.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, මැතිඇමැතිවරුන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්, ප්‍රාදේශීය නායකයන්, සාමාජික, සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.