සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පවත්වා පොලිස් සැරයන්වරයකුට ද පහර දුන් අලුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ අලුත්ගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයකුගේය.
ඉකුත් 02 වැනිදා හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු ප්‍රශ්න කිරීමට යැයි පවසා වැඩ තහනමට ලක් කරන ලද අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුව නිල කාමරයට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සිර මැදිරියෙන් පිටතට ගෙන ගොස් පැය දෙක හාමාරකට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් ස්ථානභාර නිලධාරීවරයා විසින් ගොස් පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයකු සමඟ හා සැකකරු සමඟ නිල කාමරය තුළ මත්පැන් පානය කරමින් සිටිනු දක්නට ලැබී ඇත.
එහිදී ස්ථානභාර නිලධාරී ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 58481 ඩී.පී.එල්. ඉඳුල්නිල් නිලධාරියා සැකකරු සිර මැදිරියට දැමීමට කටයුතු කරන අවස්ථාවේදී මත්පැන් පානය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ස්ථානභාර නිලධාරියාට බැණ තර්ජනය කර පහරදී ඇතැයිද පොලීසිය කියයි.
එම නිලධාරීන් දෙදෙනාව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා, බීමත්ව සිටි බවට සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා විසින් තහනමට ලක් කර ඇත.