වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී සැකකරුවකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත ඊයේ (6) යොමුකර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම සිදුවීමේ දී රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙන බවයි.
ඉකුත් 1 වැනිදා රාත්රියේදී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේය. මෙලෙස මිය ගියේ මීගස්කිවුල මොරහෙල පදිංචිව සිටි සත්සර නිමේෂ් (25) නමැති තරුණයෙකි. එම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදු කරනු ලබයි. එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්කිරීමට මෙම නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත්කර තිබේ.