එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් එවනු ලබන විදේශ ප්‍රේෂණ මත පූර්ණ විදත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුව ඇතැයි කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.
මේ පිළිබඳ අනාවරණය වූයේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විදත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ සකස් කළ විශේෂ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙසේ වාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවට සැකයක් පවතින බව විගණකාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
මෙම කාලසීමාව තුළ වාහන බලපත්‍ර 1077ක් නිකුත් කර තිබූ බවත් ඉන් බලපත්‍ර 77ක් අවලංගු වී තිබූ බවත් පෙන්වා දුන් විගණකාධිපතිවරයා, ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බවට කමිටුවට අනාවරණය කළේය.
මෙමඟින් බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදුව ඇති බව පැහැදිලි වන බව ද ඒ මහතා අවධාරණය කළේය.
එසේම 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 2.42ක් බව ද මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අදාළ කාල සීමාවේ විදේශගත නොවූ පුද්ගලයන් හතරදෙනකු වෙනුවෙන් ද විදත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවට මෙහි දී අනාවරණය විය. මීට අදාළ චක්‍රලේඛය මඟින් විදත් වාහන බලපත්‍ර හිමිකම ලැබීමට විදේශගතව සිටිය යුතු අවම කාලසීමාවක් නිශ්චය කර නොතිබීම නිසා දින 3 සිට මාස 3ක් දක්වා වූ කෙටි කාල පරිච්ඡේදය තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයන්ට හා කඩින්කඩ විදේශගත වූ පුද්ගලයන් සඳහා ද මෙම යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර ලබාදීමට පෙර පැවැති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව මෙහි දී අනාවරණය විය.
කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ හිටපු අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් මෙම සියලු අවිධිමත් කටයුතු සිදු කර දී ඇති බවය. එසේම මේ හරහා තමන්ගේ තෝරා ගත් පිරිසකට වරප්‍රසාද සකසා දීමක් සිදු කර ඇති බව පෙනී යන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
තවද පැමිණ සිටි නිලධාරියෙක් මෙහි දී පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයෙක් ලෙස සෘජුව කටයුතු කිරීමේ නොහැකියාවක් මෙම යෝජනා ක්‍රමයට අනුබද්ධව සේවය කිරීමේ දී ඇති වූ බවත් මේ හේතුවෙන් තමන් සේවා මාරුවක් ලබාගත් බවත්ය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස සහ මීට අදාළ අක්රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, නලීන් හේවගේ, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන කබීර් හෂීම්, (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, දිනිඳු සමන් හෙන්නායක, ටී.කේ. ජයසුන්දර, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ ලාල් ප්‍රේමනාත් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.