වරකාපොළ, අල්ගම ප්‍රදේශයේ දී මාස 6ක් වයසැති පිරිමි දරුවාගේ ගෙල සිර කර ඝාතනය කර බේබි කැරියර් එකක බහා සිය ශරීරයේ එල්ලාගෙන ගෙල වැලලාගෙන මියගිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනියකගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බව වරකාපොළ පොලීසිය පවසයි.
ඉකුත් 03 වැනිදා පෙරවරුවේ මෙසේ ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ, වරකාපොළ පොලිස් වසමේ අල්ගම, මැදගම පදිංචි ලියන මුදියන්සේලාගේ සොමිකානී නිලූෂා (37) නමැති තිදරු මවකි. ඇගේ සිරුරේ එල්ලාගෙන සිටියේ මාස 06ක් වයසැති කස්තුරි ආරච්චිලාගේ හිමරු නිර්වාන් කුලතුංග නමැති බිලිඳෙකි.
මියගොස් සිටි කාන්තාව උපාධිධාරිනියක බවත් ඇය පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ රැකියාවක නියුතු බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය පවසයි.
මරණකාරියගේ සැමියා මූල්‍ය ආයතනයක කළමනාකරුවකු ලෙස රැකියාවක් කරන බව ද පොලීසිය පැවසීය.
ගෙල වැලලාගෙන මියගොස් ඇති තිදරු මවට අක්කර තුනක පමණ ඉඩමක් ඇති බවත් ඉඩම කිහිප දෙනෙකුට විකුණා මුදල් ගෙන පිරමීඩ ජාවාරම්කරුවන්ට දී ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය පැවසීය. මේ තත්ත්වය මත මරණකාරිය අසල්වැසියන්ට ණය වී ඇති බවත් නිතරම ඔවුන් එම කාන්තාවගෙන් මුදල් ඉල්ලා සිට ඇති බවටත් තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුවෙන් කලක සිට අඹු සැමි යුවළ අතර ගැටුම් ඇති වී ඇති බවත් ඉකුත් 03 වැනිදා පෙරවරුවේ තිදරු මව දරුවන් තිදෙනාට වස පොවා තමන් ද ගෙල වැලලාගෙන මියයන බවට සැමියාට දන්වා ඇති බවත් පොලීසිය කීය.
පසුව තිදරු පියා අවුරුදු හතරහමාරක් වූ වැඩිමහල් පිරිමි දරුවා හා වයස අවුරුදු දෙකහමාරක් වූ ගැහැනු දරුවා රැගෙන කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි මහ ගෙදර නිෙවසේ පදිංචිව සිටින මවට දරුවන් දෙදෙනා දී ආපසු නිෙවසට පැමිණ තිබේ.
එසේ නිෙවසට පැමිණ ඇති අවස්ථාවේ දී බේබි කැරියර් එකක දරුවා බහා ශරීරයේ එල්ලාගෙන බිරිය ද කුස්සියේ යට ලීයක ගෙල වැලලාගෙන සිටින අයුරු දැක 119 හදිසි දුරකතන අංකයට ඇමතුමක් දී තිබේ. පසුව ගෙල වැලලාගෙන සිටි කාන්තාවගේ බේබි කැරියර් එකේ සිටි අත දරුවා ඉන් පිටතට ගෙන බේරා ගැනීමේ අරමුණින් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණි. එහෙත්, ඒ වනවිටත් දරුවා මිය ගොස් තිබූ බවට වාර්තා විණි.
දේහයන් දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඉකුත් 04 වැනිදා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කරන ලදි.
දරුවාගේ ගෙල සිර කර ඝාතනය කොට ඇති බවත් තිදරු මව ගෙල වැලලාගෙන මියගොස් ඇති බවටත් තීන්දු කෙරිණ.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ අධීක්ෂණය යටතේ වරකාපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බණ්ඩාර පොලිස් සැරයන්වරුන් වන ඩබ්ලිව්. කීරගල (33118) ජී.ආර්. පුෂ්ප කුමාර (48593) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ.