රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබාදෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීමේ සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්රමිතිකරණය ලබා ගැනීම සඳහා රෝහලේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු, සායන, ශල්‍යාගාර, රසායනාගාර, විකිරණ අංශය ඇතුළු රෝහලේ සියලුම ඒකක හා අංශ, පූර්ණ වශයෙන් මේ වන විට ඩිජිටල්කරණයට ලක් කර ඇත.
ප්‍රමිතිගත රසායනාගාර සේවාවක් ජනතාවට ලබා දීම අරමුණු කර ගනිමින් මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) මඟින් රසායනාගාර වෙත පිරිනැමෙන ප්රමිතිකරණය ලබා ගැනීමට රිජ්වේ ආර්යා ළමා රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය අයදුම් කර ඇති අතර රජයේ රෝහලක රසායනාගාරයක් ප්‍රමිතිකරණයට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.
සමස්ත රාජ්‍ය සේවාවම ඩිජිටල්කරණට ලක්කර මහජනතාවට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බවත්, ලක්ෂ එකහමාරක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තොරතුරු ඇතුළු මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට තාක්ෂණය යොදා ගැනීම, ඩිජිටල් සෞඛ්‍ය වාර්තා වඩාත් සම්බන්ධයක් සහිතව දියුණු කිරීම, ඖෂධ සැපයුම් ජාලය තාක්ෂණය සමඟ විධිමත් කිරීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
රෝගී බවට පත්වෙන පුරවැසියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වගකීමක් බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන සියලුදෙනාට අවශ්‍ය කරන වෘත්තීමයභාවය ලබාදෙමින් රෝගියාට ඉහළම සත්කාරයක් ලබාදීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ද පැවසීය.
ඒ සඳහා මෙරට රජයේ රෝහල් පරිශ්‍ර ඉංජිනේරු ශිල්පීය සහ ගෘහ නිර්මාණ ශීල්පීයතාව යොදාගෙන රෝහලක් ලෙස නිර්මාණාත්මක, දැකුම්කලු ස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි ද වත්මන් රජයේ පූර්ණ අවධානය යොමුව ඇති බව ඇමැතිවරයා පැවසුවේය.
ඉතාම කැලඹිලිසහගත කාල පරිච්ඡේදයක් පසුකර වර්තමානයේ සාමකාමීව යාත්‍රා කරන මෙරට සෞඛ්‍ය සේවාව අද පවතින තත්ත්වයට ගෙන ඒමේ දී රෝහල් පරිපාලනය මෙන්ම විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සියලුම කාර්ය මණ්ඩලය දක්වා වූ දායකත්වය, කැපවීම සම්බන්ධයෙන් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රය නමැති යාත්‍රාව නිවැරදි දිශාවට පැදයාමට දායක වූ පිරිසට විශේෂ ස්තූතියක් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද ඇමැතිවරයා පැවසීය.
සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමේදී ඒ වෙනුවෙන් අපරිමිත කැපවීමක්, සේවාවක් සිදු කළ සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පෙරේරා, රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශයේ ප්‍රධානී පටකවේදී විශේෂඥ වෛද්‍ය සදලි ගුණරත්න මහත්ම මහත්මීන් මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කළ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඔවුන්ට සමරු තිළිණ ප්රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
රෝහලේ රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යවරයා රෝහල් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වීම ද මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්වරුන් ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක් සහාභාගි වූහ.