ශ්‍රී ලංකා භූමිය හෝ අවට සාගරය ඉන්දියාවේ ආර්ථිකයට හානිකර අන්දමින් යොදා ගැනීමට ඉඩ නොදෙන බවද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මුළුමනින්ම එකට බැඳී තිබෙන බවද ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා ප්‍රකාශ කරයි.
කොළඹ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය. දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ වික්‍රම් මිශ්‍රි මහතා ද මෙරටට පැමිණියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මුළුමනින්ම එකට බැඳී තිබෙන බවත් අප අතර සමීප සබඳතාව දෙපාර්ශ්වයම පිළිගත් කරුණක් බවත් ය.
නවදිල්ලි චාරිකාවේදී හා මෙම සංචාරයේ දී මෙන්ම තවත් බොහෝ අවස්ථාවල දී පැහැදිලිවම සඳහන් කළ කාරණයක් ලෙස ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ අසල්වැසියන්ට අනර්ථදායක අන්දමින් යොදා නොගත යුතු බව සහ ඒ සඳහා ඉඩ ලබා නොදිය යුතු බව ද සඳහන් කළේය.
මෙය ශ්‍රී ලංකා භූමිය හෝ අවට සාගරය ඉන්දියාවේ ආර්ථිකයට හානිකර අන්දමින් යොදා ගැනීමට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාවේ පැවැති සාකච්ඡාවලදී යළි අවධාරණය කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.