ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් පරිදි තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාමාන කර ගැනීමෙන් පසු ඊයේ (06) නැවත ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” සංකල්පය තහවුරු කරමින් පසුගිය (04) වැනිදා මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා මෙරට සංචාරයක නිරතවූ සිවු වැනි අවස්ථාව මෙය වේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතා තවදුරටත් තර කරගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කරගැනීමත් මෙම රාජ්‍ය සංචාරයේ අරමුණ වී තිබේ. ඉන්දියානු විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම සංචාරයට එක් වූහ.
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ඉන්දීය අගමැතිවරයා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පෙරේදා (05) පෙරවරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලාංකේය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ“ සම්මානය පෙරේදා (05) පිරිනමනු ලැබූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් රැසකටද මෙදින අත්සන් තැබිණි.
ඉන්දීය අගමැතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී සාකච්ඡා පැවැත්වූ අතර එදින රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ කුඩා නමුත් උණුසුම් හදවත් ඇති මිනිසුන් පිරුණු මෙම ආශ්චර්යයවත් දිවයින වෙත ඔබේ රටේ ජනතාව නැවත නැවතත් පැමිණෙනු දැකීම අපගේ අපේක්ෂාවයි. අපි සෑම විටම අපගේ මිතුරන්ට කියන දෙයක් තමයි, “නැවත එන්න” කියලා. අපගේ හදවත් ඔබව සාදරයෙන් පිළිගැනීමට සූදානම් බවයි.
ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය ,චින්තක කුමාරසිංහ, සුලෝචන ගමගේ

අනුරාධපුර සංචාරයෙන්- ජය ශ්‍රී මහ බෝසමිදු අභියසදී

සිවුවන සංචාරයේ සමරු සටහන තබමින්

මෝදි අගමැතිගේ ගිණුමෙන් – “මා මිත්‍ර ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අනුරාධපුරයේදී“

රාත්‍රී භෝජන සංග්‍රහයෙන්

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය විවෘත කරමින්

ගිවිසුම් රැසකට අත්සන්

අගමැතිනිය හමුවී

විපක්ෂ නායක හමුවූ අවස්ථාව