අමෙරිකා එක්සත් ජනපද රජය පනවා ඇති බදු නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන්නන් බරපතළ ප්‍රශ්නයකට මුහුණදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (05) පැවති හමුවකදීය.
ඇඟලුම් ක්ෂේත්‍රයේ 350,000ක පමණ ඍජු හා මිලියනයක් පමණ වක්‍ර රැකියා බිහි කරන අයට මේ නිසා බරපතළ හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ තත්ත්වයෙන් රට මුදාගැනීමට විශේෂඥ දැනුම සහිත දූත පිරිසක් අමෙරිකාවට යොමු කර පුළුල් සාකච්ඡාවක් සිදු කරන්න ඕනෑ. රටේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය විධිමත්ව ඉදිරිපත් කර අපනයන ආරක්ෂා කරගත යුතුයි. ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කළ යුතුයි.
එසේම මෙම තත්ත්වයට මුහුණදෙන ආසියානු කලාපයේ රටවල් සමඟ එකතු වී ලෝක වෙළෙඳ සංවිධානය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි. ඊට අමතරව රට තුළ දේශපාලන භේදභින්නතාවලින් තොරව පොදු ප්‍රතිපත්තියක් හා අවබෝධතාවක් ඇති කරගෙන දේශීය එකඟතාවක් ද ඇති කරගත යුතුයි.
එමෙන්ම වෙළෙඳ ක්ෂේත්‍රය යන මාතෘකාව යටතේ ජවසම්පන්න දේශීය යන්ත්‍රණයක් ස්ථාපිත කර ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා අපනයන ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධ වෙනමම රාජ්‍ය ආයතනයක් හරහා කටයුතු කළ යුතුව තිබෙනවා. අමෙරිකාවට එවැනි ආයතන හා නිලධාරීන් සිටින නිසා අප රටට ද අවශ්‍යයි. ඊට අමතරව රටට සාපේක්ෂ වාසි සහිත නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීමත් ඍජු විදේශ ආයෝජන සඳහා ඇති බාධා යල්පැනගිය නීතිරීති රෙගුලාසි ඉවත් කර විදේශ ආයෝජන ආකර්ෂණය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු යැයි ද හෙතෙම කීවේය.