පසුගියදා ඇති වූ දරුණු භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීම සඳහා මෙරට ත්‍රිවිධ හමුදාවේ කණ්ඩායමක් එරට බලා පිටත්වූහ.
ඒ අනුව බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත වෛද්‍ය සහ විශේෂ සහන සේවා කණ්ඩායම පෙරේදා (05) මියන්මාරය බලා පිටත්ව ගියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. ඉතා කෙටි කාලයකදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මේ විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීම විශේෂත්වයකි.
ථෙරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය දුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවලට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කර රැස් කළ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද මේ කණ්ඩායම සමඟ මියන්මාර රජය වෙත යැවීමට කටයුතු කර තිබේ.
විදේශ කටයුතු ඇමැතිවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මේ මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම මේ මහඟු කර්තව්‍යයට දායකත්වය දී ඇත.
මේ මානුෂීය මෙහෙයුම්වලින් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීමට ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීමත් මනාව පිළිබිඹු කෙරේ.