උතුරු පළාතේ නව ආයෝජන කලාප තුන මේ වසරේ තුන්වන කාර්තුවේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති උතුරු පළාතේ ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මේ වසරේ තුන්වන කාර්තුව අවසානයේදී ආයෝජකයන්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවර වේගවත් කරන්නැයි ආයේජන මණ්ඩලයේ සභාපතිවරයා අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමට නව ආයෝජන කලාප ආරම්භ කිරීමේ කාර්යයේදී ඊට සම්බන්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ආයෝජනය කිරීමට අපේක්ෂිත ආයෝජකයන් සහ උතුරු පළාතේ වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා මෙලෙස පැවසීය.
“නව ආයෝජන කලාපවලින් ඍජු රැකියා 16,000ක් පමණ ජනිත වනු ඇතැයි අපේක්ෂා කරනවා. වක්‍ර රැකියා 50,000ක් පමණ අපේක්ෂා කෙරෙනවා. පරිසර හිතකාමී හරිත ආයෝජන කලාප ලෙස පරිසරය හා බැඳුණු, පරිසර දූෂණය අවම ආයෝජන කලාප ලෙස හඳුන්වා දීමට පියවර ගන්නවා.
කන්කසන්තුරේ අත්හැර දමා ඇති පැරණි සිමෙන්ති කම්හල් භූමියත්, පරන්තන් හි අත්හැර දමා ඇති රසායන නිෂ්පාදන කම්හල් භූමියත් නව ආයෝජන කලාපවලට අයත්. වසර ගණනාවක් අවධානයට ලක්නොවූ මේ ප්‍රදේශ රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම වැදගත්. කන්කසන්තුරේ ආයෝජන කලාපය පිවිසුම් මාර්ග තුනක් සහිතව (ගුවන්, නාවික හා දුම්රිය) සංවර්ධනය කළ හැකියි. මේ ආයෝජන ආකර්ෂණයට හේතු වෙනවා. නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී උතුරු ප්‍රදේශයේ තරුණ ශ්‍රම බළකායේ හැකියාව සහ දැනුම පිළිබඳව අවධානය යොමු කෙරෙනවා.”