නීති විරෝධී ලෙස කොටස් එකලස් කළ ලොරි රථයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයකු මෙන්ම සර්වජන බලය පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන රොෂාන් රණසිංහ මහතාගේ බිරියගෙන් පානදුර වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් පෙරේදා (05) පැය 04ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජයමුණි සොයිසා මහතා අත්අඩංගුවට ගැනීමට මුල්වූ ලොරි රථය සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කර තිබේ.
එම ලොරි රථය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් මිල දී ගත්තේ යැයි සඳහන් වන්නේ රොෂාන් රණසිංහ මහතාගේ බිරිය අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරනු ලබන සමාගමකිනි. ඇයව පානදුර වලානේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය හමුවට කැඳවා ප්‍රශ්න කර ඇත්තේ එබැවිනි.
විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරය අනුව එම වාහනය පැරණි ලියාපදිංචි අංකයකින් ධාවනය කර ඇති අලුත් වාහනයකි. එහි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරනු ලබන්නේ එම වාහනය කොටස් එකලස් කර ඇති එකක් බවය. විජිත් විජයමුණි සොයිසා මහතා පවසා ඇත්තේ තමා එම වාහනය මිල දී ගනු ලැබුවේ එම තත්ත්වයෙන් බව යැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වාහනය මිල දී ගත් බව සඳහන් සමාගමේ අධ්යක්ෂවරියක වන රොෂාන් රණසිංහ මහතාගේ බිරියගෙන් දීර්ඝ ලෙස මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් ප්‍රශ්න කර ඇත. ඉදිරියේදී රොෂාන් රණසිංහ මහතා ද කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙනු ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.