ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ දී කළ මෙහෙයුමකදී බහුදින යාත්‍රාවක සඟවා මෙරටට රැගෙන එමින් තිබියදී සැකකරුවන් 07 දෙනකු සමඟ අල්ලාගත් රුපියල් කෝටි 1000කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය විදේශයක සැඟවී සිටින පාතලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් බව හෙළිවී තිබේ.
“කොස්ගොඩ සුජී” නමැති එම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ මෙහෙයවීම මත මෙම මත්කුඩු තොගය පාකිස්තානයේ සිට බහුදින යාත්‍රාවකින් රැගෙනවිත් ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලාංකේය බහුදින ධීවර යාත්‍රාවට භාර දී ඇති බව සඳහන්ය.
එම බහුදින යාත්‍රාවේ තිබී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝ 671යි ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝ 191යි ග්‍රෑම් 752ක් තිබී ඇත. මෙරට ඉතිහාසයේ වැටලීමකදී එක් ස්ථානයකින් සොයාගත් වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය වන්නේ මෙය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු සඳහන් කළේය.
මෙම බහුදින යාත්‍රාවේ තිබී සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 863යි ග්‍රෑම් 204කි. මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සැලකෙන්නේ මෙරට ඉතිහාසයේ ආරක්ෂක අංශයක් විසින් කළ වැටලීමක දී එක් ස්ථානයකින් සොයාගත් තුන්වැනියට විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙසිනි.
මෙරට ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් එක් ස්ථානයක දී සොයාගෙන ඇත්තේ බ්‍රසීලයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබුණු නෞකාවක් කොළඹ වරායේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් 2016 වසරේ දෙසැම්බරයේ දී කළ සෝදිසියකදීය. තේක්ක කොටන් පිරවූ බහලුමක් තුළ සූක්ෂ්ම ලෙස අසුරා තිබී කොකේන් කිලෝ 1000ක් එහිදී සොයා ගන්නා ලදි. මෙම කොකේන් තොගය ඉන්දියාවට රැගෙන යමින් තිබූ බව විමර්ශනවලින් අනාවරණය විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව ද 2020 වසරේ මාර්තු 28 වැනිදා දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක් ගැඹුරු මුහුදේ කළ මෙහෙයුමකදී ද මත්ද්‍රව්‍ය කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් සමඟ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. එම යාත්‍රාව ගැඹුරු මුහුදේ යාත්‍රා කර තිබුණේ විදේශ රාජ්‍යයක ධජයක් සහිතවය. එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක ප්‍රමාණයක් සහ කොකේන් කිලෝ 500ක ප්‍රමාණයක් තිබී ඇත. ඊට අමතරව මත් පුවක් පැකට් 200ක් සහ මත් පෙති ද එහි තිබී සොයාගෙන තිබුණි.