මීගහකිවුල නගරයේ තැන තැන දක්නට ලැබුණේ සුදු කොඩි වැල්ය. මීගහකිවුල මොරහෙල හන්දිය ඇතුළු ස්ථාන ගණනාවක කහ පැහැති නර්තනය ඇඳුම් කට්ටලයකින් සැරසුනු නව යොවුන් වියේ තරුණයකුගේ රුවකි. එහි සටහන්ව තිබුණේ ඔහුගේ අකල් වියෝවෙන් කම්පාවන හිත මිතුරන්ගේ දුක් අඳෝනාවන්ය.
මෙලෙස දුක් අඳෝනාවන් සටහන්ව තිබුණේ පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී වධ හිංසාවලට ලක්ව මිය ගිය බව කියන මීගහකිවුල, පහලගෙදර තුරුලිය සෙවණ, පදිංචි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නමැති 25 වියැති තරුණයා වෙනුවෙනි.
දක්ෂතා රැසකින් පිරිපුන් අහිංසක දරුවකුගේ මරණය වෙනුවෙන් මුළු මීගහකිවුල පමණක් නොව අසල්වැසි ගම්මානවල ජනතාව මෙන්ම සිද්ධිය කනවැකුණු මෙරට සියල්ලෝම කම්පාවට පත්ව තිබිණි. උපදින සෑම මිනිසකුටම මරණය උරුම වුවත් සත්සර නිමේෂ්ට සිදුව තිබුණේ ජීවත්වන්නට තිබූ අයිතියක් අහිමි කිරීමකි.
නිමේෂ්ගේ මව පියා සහෝදරයන් ඥාතින් ඇතුළු බොහෝ දෙනකු කම්පාවට පත්ව සිටින්නේ එම වියෝව නිසාවෙනි. සත්සර නිමේෂ් සාමාජිකයින් තිදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලාය. පියා මුතුවාඩිගේ පියුමාල් තුෂාරය. මව කේ.ඩබ්ලිව්.එල්. සමන්තිය.
සත්සර නිමේෂ් ගමෙන් නගරයට ගියේ ජීවිතය සොයන්නටය. ජීවත්වන්නට අරමුණක් එක් කරගන්නටය. ජීවත් වන්නට වියපැහැදම් සොයා පවුලට ශක්තියක් වන්නට මිස රටක් වනසන්නට නොවේ.
බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන නිවෙසෙන් පිට වූ නිමේෂ්ගේ දේහය පසුගිය (03) වැනිදා ඔහුගේ නිවෙසට රැගෙන ආවේ මවුපියන් ඥාතීන් පමණක් නොව මෙරට යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින බොහොමයක් දෙනාගේ හදවත්වලට ප්‍රශ්නාර්ථයක් එක් කරමිනි.
සත්සර නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍යයන් මෙන්ම ප්‍රධාන මාධ්‍යයන් තුළින් ද අසන්නට ලැබෙන්නේ විවිධ කතාවන්ය. ඒ නිසාම සිදුව ඇති දේවල් හරි හැටි දැනගන්නට අපි සත්සර නිමේෂ්ගේ නිවෙසට ගොඩවූයේ ඔහුගේ ඥාතීන් හමුවී ඒ පිළිබඳ ඇත්ත විමසන්නටය. තමුන් පණ මෙන් ආදරය කළ තම වැඩිමහල් දරුවාට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් ඔහුගේ මව , පියා හෝ ඥාතීන් හරි හැටි නොදන්නේය. සත්සරගෙන් අවසන් ඇමතුම ලැබුණු මොහොතේ සිට ඔහුගේ නිසල දේහය තමුන්ට දැක ගන්ට ලැබුණු මොහොත දක්වා සිදු සියල්ල ඔහුගේ මව සමන්ති මහත්මිය මෙලෙස විස්තර කළාය.
මහත්තයෝ, මම ආමි එකේ අවුරුදු විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරියෙක් විදිහට විශ්‍රාම ගිය තැනැත්තියක්. අපි පුංචි ව්‍යාපාරයක් කරගෙන ගියේ. අපේ පුතා හැමදේටම හරිම දක්ෂයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරලා හොඳට විභාග සමත් වුණා. ඊට පස්සේ එයා නර්තනයට යොමු වුණා. විවිධ තරගවලින් විවිධ දක්ෂතා පෙන්නුවා. ගුරුවරු ගමේ අය වගේම යාළුවෝ එයාට හරියට ආදරය කළා. හරිම දක්ෂ දරුවෙක්. එයාට නර්තනයෙන් ඉහළට යෑමේ අවශ්‍යතාවය තිබුණා. ඇතැම් රූපවාහිනි නාළිකාවල පවා නර්තන වැඩසටහන්වලට ඔහු පෙනී සිටියා.
කොහොම වුණත් එයාට රැකියාවක් හොයාගෙන තමයි 2018දී මුලින්ම එයා කුරුණෑගලට ගියේ. එහි කාලයක් සේවය කරලා ඊට පස්සේ කොළඹට ගියේ වෙන තැනක රැකියාවක් කරන්න. ඔය අතරේ විදෙස්ගත වෙන්න හිතාගෙන පුතා පාඨමාලාවක් හැදෑරුවා. මුලින්ම විහාරස්ථානයක තමයි නැවතිලා හිටියේ. ඊට පස්සේ ඔය සිද්ධිය වෙන දවසට කලින් දවසේ තිස්එක් වැනිදා දවල් මට කතා කරලා කිව්වා අම්මා මම වෙන බෝඩිමකට යනවා මුදල් ඉතුරු කර ගන්න ඕනෑ නිසා කියලා. හැම වේලාවේම හැම දේම පුතා අපිට කතා කරල කියනවා. එයා අඩුම ගානේ දවසකට සැරයක් දෙකක් අපිට කතා කරනවා. බැරි වුණොත් අපිත් කතා කරනවා. ඊට පස්සේ එදා ආයේ හවසත් තුනට කතා කරල කිව්ව බෝඩිමකට යනවා කියලා. බෝඩිම හොඳයි, එකේ ඇන්ටි ආවම තීරණේ දෙනව කියල.

සත්සරගේ ජයග්‍රහණ
ඊට පස්සේ මගේ පුතාගේ යාළුවෙක් වන තේනුක පුතා මට රෑ අටට විතර කතා කරල කිව්වා අම්මා නිමේෂ් මල්ලි කලබලෙන් වගේ කතා කළා. පොලීසියට අරන් යනවා වගේ තමයි මට දැනුණේ. පොඩ්ඩක් මල්ලිට කතා කරල බලන්න කියලා. මම එහෙමම අනිත් පැත්තට මගේ පුතාට කෝල් එකක් ගත්තා. එතකොට එයා මට කතා කරල කිව්වා අම්මේ මං පොලීසියෙන් අරගෙන යනවා මාව විනාශ කරයි ද දන්නෑ. මාව අල්ලගෙන කොහෙටද අරන් යනවා කිව්වා.
එතකොටම ෆෝන් එක කට් වුණා. පුතා සාමාන්‍යයෙන් හැමදේම එක දිගට කියලා ඉවර කරන කෙනෙක්. මං කල්පනා කරා ඇයි මෙහෙම වුණේ කියලා. ඊට පස්සේ එක දිගට දාහතර පාරක් ගත්තා.ෆෝන් එක ඉස්සුවේ නැහැ. ආයෙත් ටිකකින් ට්‍රයි කරා ඊට පස්සෙ කෙනෙක් කතා කළා. කවුද ඔයා කියලා අනිත් පැත්තෙන් ඇහුවා. මම කිව්වා දරුවාගේ අම්මා කියලා’ කවුද කියලා ආයෙත් මම ඇහුවා’ එහා පැත්ත එක්කෙනා සර් සර් මෙයාගේ අම්මා කතා කරනවා කියලා ෆෝන් එක කාටද දුන්නා. ඊට පස්සේ මම ඒ කතා කරපු එක්කෙනාට කිව්වා, සර් ඔය මගේ දරුවා කියලා. ඊට පස්සේ ඒ අය කීව අපි වැලිකඩ පොලීසියෙන් කියලා. එයා මේ අල්ලගෙන යන ගමන්. හරි අරන් යන ගමන් හරි කියලා මොකක්ද එකක් කිව්ව. මට තේරුණේ නෑ. මං එතකොට ඒ නිලධාරියට කතා කරලා කිව්වා බුදු සර් ඔය ඉන්නේ මගේ දරුවා. මගේ දරුවට මගේ මැණිකට ගහන්න එපා කියල මම බැගෑපත් වුණා. එයාට ගහන්න එපා මුකුත් කරන්න එපා. මං හෙට උදේ වෙනකොට ඔතෙන්ට එනවා කියල.
ඊට පස්සේ එයාල කිව්වා, මෙයා කොන්ට්‍රෝල් කරන්ඩ හරි අමාරුයි. දඟලනවා කියලා. මං කිව්වා. දරුවට දම්වැල් හරි දාලා තියාගන්න කියලා එතකොට එයාල කිව්ව අපිට දම්වැල් දාන්න බැහැනේ කියලා. මං ඊට පස්සේ කිව්වා මම දරුවගේ අම්මනේ. මමයි කියන්නේ කැළලි මොනාහරි ආවොත් මං ඒව මකා ගන්නම් කියලා. ඊට පස්සේ මම මගේ ෆෝන් එක බහිනකම්ම ගත්තා. ආන්සර් කරේ නැහැ. කමක් නෑ, මං හෙට උදේ යනවනේ කියලා හිත හදාගත්තා. පාන්දර එකට මීගහකිවුලෙන් තියෙන බස් එකේ මම කොළඹ ගියා. උදේ 7.45ත් 8.30ත් අතර මම වැලිකඩ පොලීසියට ගියා. එතන හිටිය කිසි කෙනෙක් මගේ දරුවා ගැන කිව්වේ නෑ. රිමාන්ඩ් එකේ ඉන්න අයත් මං දිහා සැරින් සැරේ බැලුවා. කූඩුවේවත් මගේ දරුවා ඉන්නවද කියල බැලුවා. ඒත් පේන්න හිටියේ නැහැ. කිසි කෙනෙක් මගේ දරුවා ගැන කිව්වෙත් නෑ. පැය දෙකක් විතර ගියාට පස්සේ තමයි ඕ.අයි.සී. මාව කාමරයට ගෙන්නුවේ. ඊට පස්සේ ඕ.අයි.සී. මගෙන් වෙන වෙන ඒවා ඇහුවේ. දරුවෝ කී දෙනෙක් ඉන්නවාද? මේ දරුවා විතරද ඉන්නේ? ඔය වගේ දේවල් තමයි ඇහුවේ. මමත් ඒවට උත්තර දුන්නා. ඊට පස්සේ මගෙන් තේ එකක් බොනවද කියලා ඇහුවා. මට තේවත් වතුරවත් එපා මගේ දරුවෝ පෙන්නන්න කියලා මං කිව්වා. ඊට පස්සේ මං කන්නම් කිව්වා. එතන හිටිය කාන්තා පොලිස් නිලධාරිනියකුත් මාව තේ බොන්ඩ එක්කගෙන යන්න මහන්සි වුණා. ඒ වේලාවේ ඕ.අයි.සී. මහත්තයා කිව්වා දරුවා මුල්ලේරියාව රෝහලේ නවත්තල ඉන්නවා තව ටිකකින් යමු බලන්න කියලා. මමත් ඒක අහල ආයිත් ඇවිල්ලා එළියෙන් වාඩි වුණා.
එළියේ ඉඳගෙන ඉන්න කොට මිරිහාන පොලීසියේ එස්.අයි. මහත්තයෙක් එතෙන්ට ආවා. එයා තමයි මේ පරීක්ෂණය කළේ. එයා ඇහුවා මේ අර මැරිලා ඉන්න දරුවගේ අම්ම ද කියලා. මම නෑ කිව්වා. කීයටවත් මං හිතුවේ නෑ මගේ දරුවා මැරිල කියල. මොකද පොලීසියෙන් කිව්වෙත් දරුවා රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලයි. හැබැයි එයාලගේ හැසිරීමෙන් මට පොඩ්ඩක් සැක හිතුණා. ඊට පස්සේ මං කිව්වා අනේ සර් මැරිලා ඉන්නේ මගේ පුතාවත්ද මට කියන්න මට කියන්න කියලා. එතකොට එයාල දැන ගත්තා මං කලබල වුණා කියලා. ඊට පස්සේ ඕ.අයි.සී. මට ආයෙත් ඇතුළට කතා කළා. ඒ කරල කිව්ව. අම්මේ ඔයාගේ පුතා අසනීප වෙලා මුල්ලේරියාව අංගොඩ මානසික රෝහලට ඇතුළත් කළා. එහිදී මිය ගියා කියලා. එයා කෑ ගැහුව දැඟලුවා ඒ නිසා කොන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. අපි රෝහලට ගෙනිච්චා කියලත් ඕ.අයි.සී. කිව්ව. මම කිව්වා මගෙ පුතා අංගොඩ ගෙනියන්න පිස්සෙක් නොවෙයිනේ කියලා. එහෙම කිව්වත් මාව එක්ක ගියේ නැහැ. මගේ තනතුරවත් සැලකුවේ නැහැ. මට යන්න දුන්නෙත් නැහැ. ගොඩක් වෙලා තියාගත්ත. බැරිම තැන මම මගේ මහත්තයාගේ අයියට කතා කළා. විනාඩි විස්සක් විතර යද්දි එයා ආවා. ඊට පස්සේ හවස එකත් පහුවෙලා තමයි අපිව රෝහලට අරන් ගියේ. ඒත් දරුව පෙන්නුවේ නෑ. නඩුකාර උන්නාන්සේ එනකන් ඉන්න ඕනෑ කිව්ව. මාව පුදුම විදිහට රස්තියාදු කළා. ටික වේලාවකින් දරුවාගේ මිනිය එළියට ගත්ත. මම අඳුර ගත්ත මගේ දරුව කියල. මට මිනිය අල්ලන්න දුන්නේ නැහැ. පුතාගේ ඇස් දෙක උඩ ගිහිල්ල තිබුණ. දරුවගේ මයිල් ගහක් ගානේ ගහපු පාරවල් තිබුණා. පිටේ කේබල් පාරවල් තිබුණ කියල මෝචරිය ඇතුළට ගිය මස්සිනා කිව්වා. හැම තැනම ගහපු පාරවල්. ඉදිමිලා තිබුණ ලස්සන අතපය කොණ්ඩෙ තිබුණ දරුවගේ නියපොතු ටික ඉඳල කළුවෙලා. දරුවගේ මේ තුවාලවලට කිසිම හේතුවක් කිව්වේ නෑ. මං දරුවාගේ නළල විතරයි ඉම්ඹේ. සමන්ති ඇඬූ කඳුළින් කියාගෙන ගියේය. නිමේෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී මුලින්ම කතා කර තිබුණේ ඔහුගේ මිතුරෙකුටය. ඒ ගැන සමන්ති මහත්මිය මෙසේ කීවාය.
මට මුලින්ම විස්තරය කිව්වේ පුතාගේ යාළුවා. පුතා යාළුවට කෝල් එකක් අරන් එයා ෆෝන් එක ඉස්සුවට පස්සේ මොකුත් කියන් නැතුව එතැන සිද්ධ වෙන දේවල් අහගෙන ඉන්න දීලා. ඒකෙන් තමයි එයා තේරුම් අරන් තියෙන්නේ. මගේ දරුවා පොලීසියේ භාරයෙ ඉන්නවා කියලා. ඊට පස්සේ පුතාගේ යාළුවා තමයි මට කතා කරල කිව්වේ අම්මේ මල්ලිට මොකක් හරි ගැටලුවක් කියලා. පොලීසියේ ඉන්නවා වගේ දැනෙනවා. හොයලා බලන්න කියලා.
මියගිය නිමේෂ්ගේ මව සමන්ති මහත්මිය යුද හමුදා සේවයේ වසර විස්සක අත්දැකීම් සහිත නිලධාරිනියක් ලෙස විශ්‍රාම ගිය අයෙකි. ඒ නිසාම ඇයට තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයන් නැඟු තැන් රැසකි. ඇය දරුවාගේ මළ සිරුර පරීක්ෂා කරද්දී ඔහුට අන්දවා තිබුණේ ඔහු සතු ඇඳුමක් නොවන බව සමන්ති මහත්මිය පවසන්නීය.
‘මගේ දරුවා කලිසං අඳින්නේ ඉනට හරි යන විදිහට. හැබැයි ඒක මගේ දරුවගෙ කලිසම නොවෙයි. මම ඇහුව දරුවගේ ඇඳුම් කෝ කියලා. එයාල කිව්ව ඒවා හොස්පිටල් එකේ කියලා. මං සැකයට නිකං පොලීසියේ කුණු බක්කිය එහාට මෙහාට කරලා බලද්දී එතන ලේ තැවරුණු මගේ දරුවාගේ කලිසම පාවහන් ගොඩක් යට තිබිලා හම්බ වුණා. මම ඒක අඳුන ගත්ත. දරුවගේ ෆෝන් එකත් කුඩු වේලයි තිබුණේ. ඒව මට දීල ආපහු ආයේ පොලීසිය ඉල්ල ගත්තා. අනිත් එක තමයි මේ දරුවා පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා කියන්නේ නාවලදි. ගෙදරක තාප්පෙකින් පයින්න ගිහිල්ල ඉද්දි ගෙදර අය අල්ලලා 119 ගහලා පොලීසියට භාර දුන්න කියල තමයි එයාල කියන්නේ. දරුවා ඒ ගෙදර අය ගැට ගහලා හිටිය කියලත් කතාවක් කියනවා. මේ එකක්වත් පිළිගන්න අපිට කිසිම විස්තරයක් කියන්නේ නැහැ. පුතා තාප්පෙන් පැන්න කියන ගෙදර පුද්ගලයත් පොලීසියට ඇවිල්ල හිටියා. රෑ නවයයි තුනට ගත්ත ෆොටෝ එකකුත් මට පෙන්නුවා. ඒ ෆොටෝ එක ඉල්ලුවට දුන්නේ නැහැ. පුතාගේ බෙල්ල කඩා වැටිලා බිම බලාගෙන ඉන්න ෆොටෝ එකක් තමයි තිබුණේ. නවයයි තුනට ඒ ගෙදර දී ෆොටෝ ගත්ත නම් අටයි තුනට පුතා මට කොහොමද පොලිස් භාරේ ඉඳල කතා කළේ. දරුවාගේ ඇඳුම් ඇයි හැංගුවේ. ඇයි මාව පැය ගණන් රස්තියාදු කළේ. මේවා තමයි මට තියෙන ප්‍රශ්න. තම දරුවාට අත්වූ ඉරණම සම්බන්ධයෙන් දරුවාගේ පියා සොහොයුරා මෙන්ම සොහොයුරිය ද ඥාතීහුද පසුවන්නේ දැඩි වික්ෂිප්ත භාවයෙනි. තම සහෝදරයාට සිදු වූයේ කුමක්ද යන්න ඔවුන්ටත් තවමත් ප්රහේලිකාවකි. අඩුම තරමින් තමුන්ගේ දරුවාට සිදු වූයේ කුමක්ද යන්න විමසා දැනගන්නට පොලීසිය හෝ තාප්පයෙන් පැන්නාය කියන නිවැසියා හෝ කිසිවකුත් දුරකතනයකට පවා ප්‍රතිචාර නොදක්වන බව ඇය පවසන්නීය.
පොලිස් අත්අඩංගුවට පත්වන සමහරකුට අවසානයේ දී අත්වන මෙම ද ඉරණම් කතා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. ඒවාට නීතිය හරි හැටි ක්‍රියාත්මක වූවාද, සාක්‍ෂි හරි හැටි විභාග වූවාද යන්න අපි නොදන්නෙමු. එසේ නැත්නම් නිමේෂ්ට ඇත්තටම සිදු වූයේ කුමක් ද? විසඳාගත යුතු ගැටලු ගණනාවකි.
එහෙත් පවුලක බලාපොරොත්තු ඉටු කරන්නට සිටි හිරිමල් වියේ තරුණයකු මේ අයුරින් මරා දැමුවේ නම් එය කොතරම් නම් අපරාධයක් ද?. එහෙත් සියල්ල සිදුවී හමාරය. තම දරුවාට සාධාරණයක් වෙනුවෙන් හඬ නඟන මේ මවුපියන්ගේ බලාපොරොත්තු කවදානම් ඉටුවේ ද? ඒ බලාපොරොත්තු වෙනුවෙන් තම දරුවාගේ නිසල දේහය තම නිවෙසට අඩි කීපයක් මෑතින් වළ දමන්නට සිදුවීමද කොතරම් දුකක්ද? කොතරම් නම් සරදමක් ද?
මහත්තයෝ මගේ දරුවා මොන විදිහේ ලොකු වැරැද්දක් කළත් මරලා දාන්න අයිතියක් නෑ නේද? එයාට ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕනෑ නේද? අඩුම තරමේ මගේ දරුවා කරපු වැරැද්ද මොකද්ද? එයාට සිදු වුණේ මොකද්ද කියලවත් අම්මා විදිහට මම අදටත් දන්නේ නෑ. සමන්ති අසන්නීය.
පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව කියන නිමේෂ්ගේ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉටුවනතුරු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව හිතමිතුරන් මෙන්ම සමස්ථ රටේ ජනතාවම දෑස් දල්වා බලා සිටිති.