තීරුබදු ඉහළ නැංවීම, රැකියා කප්පාදුව හා දැවැන්ත සමූහ පිටුවහල් කිරීම් ඇතුළුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ පියවර රැසකට එරෙහිව අමෙරිකාවේ සියලු ප්‍රාන්තවල විරෝධතා පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා පමණක් නොව එලෝන් මස්ක් සහ රිපබ්ලිකන් පරිපාලනය ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා පැවති එම විරෝධතාවට මිලියන ගණනාවක අමෙරිකානුවන් සහභාගි වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ජනාධිපතිවරයාට එරෙහිව තනි දිනයක පැවති විශාලතම විරෝධතාව ලෙස ඉතිහාසයට එක්වූ එම විරෝධතාවට ‘අත නොතබනු‘ තේමාව යටතේ සහභාගි වූ ජනතාව එම සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ බවත්, ඊට සමගාමීව ලන්ඩන්, පැරිස්, බර්ලින් හා ෆ්රැන්ක්ෆර්ට් ඇතුළු ලොව පුරා තවත් රටවල ප්‍රධාන නගරවලත් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිවිල් අයිතිවාසිකම් සංවිධාන, විද්වතුන්, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන, කම්කරු සංගම් සහ සංක්‍රාන්ති ලිංගික සංවිධාන ඇතුළු තවත් සංවිධාන රැසක් ඊට එක්වී සිටි බව ද වාර්තා වේ. වොෂින්ටන් ඩීසී, නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ හා බොස්ටන් ඇතුළු සියලු ප්‍රාන්තවල ජනතාව විදි බැස උද්ඝෝෂණය කරමින් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ජනවාරියේ ජනපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දක්වා නිකුත් කළ සියලු විධායක නියෝග ඉවත් කරගන්නා ලෙසටය. ට්‍රම්ප් විසින් ගනු ලැබූ තීරණ හේතුවෙන් අමෙරිකානු ජනතාවට සහ එරට ප්රජාතන්ත්රවාදයට දරුණු බලපෑම් එල්ල වී ඇතැයි ද, ආර්ථික වශයෙන් එරට ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙනු ඇතැයි ද විරෝධතාකරුවන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ජනපති ධුරයේ දිවුරුම් දුන් පළමු දිනයේදීම ජෝ බයිඩ්න් පරිපාලනය යටතේ සිදු කළ විධායක ක්‍රියාමාර්ග අවලංගු කරමින් නව විධායක නියෝග මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම, ලිංගික සංක්‍රාන්තිය තහනම් කිරීම, අනවසර සංක්‍රමණිකයන් දහස් ගණනින් රටින් පිටුවහල් කිරීම, ජන්ම පුරවැසිභාවය අහිමි කිරීමට නීති සැකසීම, අමෙරිකානු විදේශාධාර අත්හිටුවීම හා රාජ්‍ය සේවකයන් කප්පාදු කිරීම ඇතුළු තවත් විධායක නියෝග ගණනාවක් ජනතා විරෝධයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.