ගෝලීය වෙළෙඳපොළ උඩුයටිකුරු කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වමින් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් ගෙන්වනු ලබන සියලු භාණ්ඩ සඳහා 34% ක අතිරේක තීරුබදු පැනවීමට චීනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු ඉහළ දැමූ රටවල් ලැයිස්තුවට අනුව චීනයට පනවනු ලැබූ තීරුබදු ප්‍රමාණය ද 34% ක් වන අතර, ලෝක ආර්ථිකයේ බලවත්ම රටවල් ද්විත්වය අතර උද්ගත වූ මේ වෙළෙඳ යුද්ධය ගෝලීය ආර්ථික අවපාතයක් ඇති කිරීමේ අවදානමක් මතු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපතිවරයා චීනයට පැනවූ නව තීරුබදු හේතුවෙන් එරට ඇතැම් භාණ්ඩවලට පනවනු ලබන තීරුබද්ද 79% දක්වා ඉහළ යනු ඇතැයි ද ලෝක ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අමෙරිකාව සහ චීනය අතර තීරුබදු අර්බුදය ඉහළ යෑම දෙරට අතර මූල්‍ය ආයෝජන ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ද, එය දෙරටේම ආර්ථික පසුබැස්මට හේතු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ චීනය අතර කාලයක සිට දේශපාලන අර්බුද මතුවූවද අමෙරිකාවෙන් චීනයට සපයනු ලැබූ මූල්‍ය ආයෝජන දෙරට අතර ශක්තිමත් ආර්ථික සම්බන්ධතාවක් නිර්මාණය කළ බවත්, වසර 2019 සිට 2020 අතර කාලයේදී පමණක් අමෙරිකානු මූල්‍ය ආයතන විසින් ඩොලර් ට්‍රිලියන 2ක පමණ මුදලක් චීනයේ ආයෝජනය කර තිබූ බවත් වාර්තා වේ.