ශ්‍රී ලංකා සංචාරයට පෙර යෙදී තිබූ නරේන්ද්‍ර මෝදිගේ තායිලන්තය සංචාරය, වසර 12කට පසු ඉන්දීය අගමැතිවරයකු තායිලන්තයේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අවසන් වරට තායිලන්තයේ සංචාරයක නිරතවී ඇත්තේ වසර 2013 දී එවකට ඉන්දීය ජාතික කොංග්‍රසයේ අගමැතිවරයා වූ මන්මෝහන් සිං වන අතර, නරේන්ද්‍ර මෝදි තායිලන්තයේ සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය වන බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නරේන්ද්‍ර මෝදිගේ තායිලන්ත සංචාරය යෙදී ඇත්තේ බැංකොක් නුවර පැවැති 6 වැනි බහුආංශික තාක්ෂණ හා ආර්ථික සහයෝගිතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටේක් සංවිධානයේ සමුළුව (බිම්ස්ටෙක්) නිමිත්තෙන් වන අතර, සමුළුව ආරම්භවීමට පෙර තායිලන්ත අගමැතිනිය පයිටොංග්ටාන් ෂිනවේට්රා ඉන්දීය අගමැතිවරයාට දිවා ආහාර සංග්‍රහයක් ද පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
හින්දු ප්‍රජාව ඉලක්ක කරගත් ඉස්ලාම් අන්තවාදී ප්රචණ්ඩත්වය හේතුවෙන් බංග්ලාදේශය සහ ඉන්දියාව අතර උද්ගත වී ඇති උණුසුම් තත්ත්වය මධ්‍යයේ පැවති බිම්ස්ටෙක් සමුළුව අතරතුර රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉන්දීය අගමැතිවරයා සහ බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා මොහොමඩ් යූනුස් එකිනෙකා සමීපයේ අසුන් ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වූ බවද වාර්තා වේ.