Monday, April 7, 2025
Home » සංවර්ධනයේ ගමන වේගවත් කරන සංස්කෘතික ඉංජිනේරුවරුන්ගේ කාර්යභාරය

සංවර්ධනයේ ගමන වේගවත් කරන සංස්කෘතික ඉංජිනේරුවරුන්ගේ කාර්යභාරය

by damith
April 7, 2025 4:08 pm 0 comment

සුධීර ජයවීර (සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය)

පුනරුදය , එසේත්, නැතහොත් සමාජ විපරිවර්තනයක් සඳහා සංස්කෘතික වෙනසක් අවශ්‍ය බව බොහෝ දෙනකුගේ අදහසයි. ඒ සඳහා මුලපිරිය හැක්කේ හුදු ප්‍රචාරණය ඉලක්ක කරගත් ක්‍රමයක් හරහා ද? එසේත් නැතහොත් ඊට එහා ගිය මිනිසුන්ගේ මූලික වටිනාකම් සහ ලෝකය වටහා ගැනීමේ ක්‍රමවල සහ අනන්‍යතා වෙනසක් ඔස්සේ ගැඹුර සහ කල්පවත්නා වෙනසක් ඔස්සේ ද යන්න සාකච්ඡා කළ යුතුය. ඒ සඳහා විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ කවර දායකත්වයක් සපයනවා ද යන්න කතාබහට ලක් කළ යුත්තකි. ඒ ඇතුළු කරුණු ඇසුරෙන් මේ ලිපිය සැකසේ.

සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව

පුළුල් අර්ථයෙන් ගත්විට , සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව යනු ජනමාධ්‍ය හරහා සමාජයේ ඕනෑම කොටසක වටිනාකම් හෝ ලෝක දැක්ම වෙනස් කිරීමට දරන උත්සාහයයි. සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව යනු සමාජයක, සංවිධානයක හෝ ප්‍රජාවක සංස්කෘතික අංග හැඩගැස්වීමට, බලපෑම් කිරීමට හෝ කළමනාකරණය කිරීමට හිතාමතාම සහ ක්‍රමානුකූලව දරන උත්සාහයයි. නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වටිනාකම්, විශ්වාසයන්, හැසිරීම් සහ සමාජ සම්මතයන් වෙනස් කිරීම මෙයට ඇතුළත් විය හැකිය. මේ සංකල්පය විවිධ සන්දර්භයන් තුළ අදාළ වන අතර, එක් එක් සංස්කෘතික පරිවර්තනයේ විවිධ පැතිකඩයන් අවධාරණය කරයි. ප්‍රායෝගිකව, සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව සහ ප්‍රචාරණය ගැඹුරින් එකිනෙක සම්බන්ධ වී ඇති බවට විවාදයක් නැත.

ඒ කෙසේ වෙතත්, පටු අර්ථයකින් ප්‍රචාරණය ඉලක්කගත ප්‍රජාවක දේශපාලන අදහස් සහ දෘෂ්ටිවාදාත්මක අනුබද්ධයන් වෙනස් කිරීමට හෝ ශක්තිමත් කිරීමට උත්සාහ කරන අතර, එය ප්‍රවෘත්ති වැනි දේශපාලන යැයි පිළිගත් මාධ්‍ය ආකාරවලින් ක්‍රියාත්මක වීමේ නැඹුරුතාවක් වේ. සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව, ඊට ප්‍රතිවිරුද්ධව, මිනිසුන්ගේ මූලික වටිනාකම් සහ ලෝකය වටහා ගැනීමේ ක්‍රමවල මට්ටමින්-ඔවුන්ගේ අනන්‍යතාව පවා වඩාත් ගැඹුරු සහ කල්පවත්නා ආකාරවලින් වෙනස් කිරීමට උත්සාහ කරයි. සැබැවින්ම එය ක්‍රියාත්මක වන්නේ, මූලිකව , දේශපාලනික වශයෙන් සංස්කෘතික හෝ වාණිජමය වශයෙන් දකින චිත්‍රපට සහ ජනප්‍රිය සංගීතය වැනි මාධ්‍ය හරහා ය. මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය (Media and Popular Culture),සංස්කෘතික කළමනාකරණය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම(Cultural Management and Project Development,) හමුදා සහ ජාත්‍යන්තර සබඳතා( Military and International Relations) පවත්වාගැනීම දක්වා සංස්කෘතික ඉංජිනේරු විද්‍යාවේ විෂය පථයන් පුළුල්ය.

බොහෝ සංස්කෘතික නිෂ්පාදන මෙහෙයවන න්‍යාය පත්‍ර මිනිසුන් විසින් සැක කෙරෙයි . බොහෝ අය උපකල්පනය කරන්නේ, අවම වශයෙන් ලිබරල් බටහිර රටවල සංස්කෘතිය බොහෝදුරට ඓන්ද්‍රීය, මානව නිර්මාණශීලීත්වයේ සහ වෙළෙඳපොළ බලවේගවල ස්වයංසිද්ධ වර්ධනයක් බවයි. සංස්කෘතිය ඇත්ත වශයෙන්ම කෘත්‍රිම හෝ නිෂ්පාදනය කරන ලද එකක් ලෙස පෙනෙන විට මහජනතාව එය අවතක්සේරු කරන අතර, දැනුම්වත්භාවයෙන් තොර සංස්කෘතික ඉංජිනේරුවන් (විශේෂයෙන් ඔවුන් සංස්කෘතික ඉංජිනේරුවන් නොව හුදු ප්‍රචාරණ කරුවන්) විසින් භාවිත කරන ශිල්පීය ක්‍රම විසින් සමාජයක් අවදානමට ලක් කරයි. සංස්කෘතික අමාත්‍යාංශවල වගකීම වන්නේ සංස්කෘතික ඉංජිනේරු විද්‍යාවේ නියැළෙන ආයතන සහ පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ න්‍යායපත්‍ර සහ එම න්‍යායපත්‍ර ප්‍රවර්ධනය කිරීමට ඔවුන් භාවිත කරන ශිල්පීය ක්‍රම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි.

ප්‍රායෝගික භාවිතය

ප්‍රචාරණ ක්ෂේත්‍රයේ මෙන්ම, විනෝදාස්වා ද ක්ෂේත්‍රයේ ද, උසස් මනෝ විද්‍යාත්මක දැනුම, සමහර විට පර්යේෂණාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය ශිල්පීය ක්‍රම සමඟ ඒකාබද්ධව, ප්‍රේක්ෂකයාගේ විඥානයට බලපෑම් කිරීමට යොදා ගනිමින් ද , ඓන්ද්‍රීය සංස්කෘතික වෙනස්කම් හා මහජනයා සතු විවේචනාත්මක අයිතීන් විනාශ නොකරමින්ද සමාජ ප්‍රතිසංස්කරණය විෂයයෙහි සංස්කෘතික ඉංජිනේරු විද්‍යාවේ භාවිතය පිළිබඳ ප්‍රවේශයක් පුනරුදය සඳහා අවශ්‍යය. චිත්‍රපටය, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍යය සහ ඩිජිටල් මාධ්‍ය – සමාජ වටිනාකම් සඳහා වාහකයක් ලෙස සහ වෙනස්වීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. විනෝදාස්වාද කර්මාන්තය, විශේෂයෙන්ම සිනමාව සහ රූපවාහිනිය, ආඛ්‍යාන නැවත සකස් කිරීමට උපකරණයක් ලෙස යොදා ගැනීම මේ මොහොතේ ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය කරයි. මතවාදයන්ට බලපෑම් කිරීමට සහ සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රබල ලෙස ඒවායේ සේවය ලබාගත යුතුය. ආසියාවේ සහ යුරෝපයේ මාධ්‍ය විසින් මෙහෙයවනු ලබන සංස්කෘතික පරිවර්තනය සමාජ අනන්‍යතා සහ ඓතිහාසික විඥානය නැවත සකස් කිරීම සඳහා තාක්ෂණික දියුණුව, මාධ්‍ය උපායමාර්ග සහ ජාතික ප්‍රතිපත්ති මත රඳා පවතියි. බොහෝ ආණ්ඩු සහ සංස්කෘතික ආයතන විනෝදාස්වාදය හරහා ජාතික අනන්‍යතාව සහ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ආඛ්‍යාන සකස් කර ඇත.

සංස්කෘතික ඉංජිනේරු විද්‍යාවට නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජ වටිනාකම්, විශ්වාසයන් සහ හැසිරීම් හැඩගස්වා ගැනීමට හිතාමතා කරන උත්සාහයන් ඇතුළත් වේ. ප්‍රායෝගිකව, එය සමාජ වෙනසක් ඇති කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවල භාවිත වෙයි.

මාධ්‍ය සහ විනෝදාස්වාදය (Media and Entertainment)

චිත්‍රපට, සංගීතය සහ සාහිත්‍යය හරහා, නිර්මාණකරුවන් ඒකාකෘතිවලට අභියෝග කරන මහජන සංජානන සහ සමාජ සම්මතයන් වෙනස් කරන ආඛ්‍යාන ඇතුළත් කිරීම මෙහිදී දැක්විය හැකියි. ඊට නිදසුන් වශයෙන් පුනරුදය සඳහා කලාව පෙළගැස්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන කතිකාව සහ දේශපාලන ප්‍රතිසංස්කරණ තරුණ සංස්කෘතිය තුළට ප්‍රේක්ෂණය කිරීම, Metaverse Platforms (Decentraland, Roblox, Meta Horizon Worlds),Augmented Reality (AR) & Virtual Reality (VR) Cultural storytelling through immersive experiences—-අත්දැකීම් හරහා සංස්කෘතික කතා කීම (e.g., VR museums, AR art). අන්තර්ගත නිර්මාපක සංස්කෘතිය (Content creating)

නාගරික සැලසුම්කරණය (Urban Planning ) ප්‍රජා අන්තර්ක්‍රියා සහ ප්‍රවේශ යතාව දිරිමත් කරන පොදු අවකාශයන් සැලසුම් කිරීම, සමාජ සහජීවනය සහ ඇතුළත් කිරීම් වර්ධනය කරයි.

සංචාරක කර්මාන්තය (Tourism):

කතන්දර කීම සහ සංචාරක ව්‍යාපාරය තුළින් දේශීය උරුමයන් ප්‍රවර්ධනය කිරීම ද සංස්කෘතික සංරක්ෂණය සඳහා රජයේ දිරිගැන්වීම ද සංචාරක ව්‍යාපාරය සඳහා ඓතිහාසික ස්ථාන, පැරණි නගර සහ සංස්කෘතික සන්ධිස්ථාන පිහිටුවීම සහ නැවත සකස් කිරීම, සංස්කෘතික ලේබල්කරණය (Cultural Branding )ආදිය දැක්විය හැකිය. උදාහරණයක් වශයෙන්, පැරිස් “ආදරය සහ කලාවේ නගරය” රොමෑන්ටිකකරණය වූ ඓතිහාසික ආඛ්‍යාන වටා සංචාරකයා රොක් වන අතර, එය ලෝකයේ වැඩිපුරම සංචාරය කරන ගමනාන්තයක් බවට පත් කරයි.(රාම – සීතා කතාවට නගරයක් හෝ කෞතුකගාරයක් ) Cultural Festivals & Events Tourism.

අධ්‍යාපනය (Education)

විවිධ සංස්කෘතික ඉදිරි දර්ශන ඒකාබද්ධ කරන විෂයමාලා සංවර්ධනය, සිසුන් අතර සන්නිවේදනය සහ හරස් සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනය කිරිම උදෙසා වැදගත්ය. 5 ශිෂත්වය අහෝසි කිරීම සඳහා මහජන කතිකාව ඊට නිදසුනකි. ඒ ඔස්සේ අධ්‍යාපනයේ බර සැහැල්ලු කිරීම, දරුවන්ට නිදහස, ස්වභාව දහමේ චාරිකාව, පාසල් හා බැඳුණු පන්ති අසමානතා වෙනස් කිරීමට දැක්ම ගොඩනැංවීම, Critical Thinking & Cultural Exchange,විෂයමාලා සංවර්ධනයට සංස්කෘතික අනන්‍යතාව ඒකාබද්ධ කිරීම, අධාපනය සැලසුම් කිරීමේදී පරම්පරා පරතරය ගැන මැදිහත්වීම .

තාක්ෂණය (Technology)

අන්තර්ගත සැලසුම් මූලධර්ම ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යුහමය අසමානතා ආමන්ත්‍රණය කරමින්, නිෂ්පාදන සහ සේවාවන් විවිධ ජනගහනයට ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම වැදගත්ය. වාර්ෂික සහල් හෝ එළවළු නිෂ්පාදනය ගණනය කිරීම , රාජ්‍ය පරිපාලනයේ ආයතනික හා යන්ත්‍රණ ඩිජිටල් කිරීම මෙයට අයත්ය. AI තාක්ෂණයෙන් බලගන්වන යෙදුම් සංවර්ධනය කිරීම පිළිබඳ තවදුරටත් පෙන්වා දිය හැකිය.

ගෝලීය අත්දැකීම්

ජාතික සංවර්ධනය සඳහා මෙවලමක් ලෙස සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව යොදාගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳ ගෝලීය උදාහරණ විමසා බැලීම අපට වැදගත්ය. සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව ජාතිය ගොඩනැඟීමේ, රාජ්‍යප්‍රතිපත්ති (state policies), මාධ්‍ය බලපෑම (media influence), අධ්‍යාපනය සහ දෘෂ්ටිවාදය (education, and ideology changes) ඔස්සේ සමාජයන් හැඩගැස්වීමේ ප්‍රධාන උපායමාර්ගයක් වී ඇත. තම ජාතික අනන්‍යතාව, ආර්ථිකය සහ සමාජ ව්‍යුහයන් සාර්ථක ලෙස පරිවර්තනය කර ඇති රටවල් බොහෝවිට එසේ කර ඇත්තේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා හිතාමතාම සංස්කෘතික ආඛ්‍යාන සකස් කිරීමෙනි. ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, චීනය සහ ජර්මනිය ඇතුළු ලොව පුරා රටවල් ප්‍රගතිය සඳහා සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව භාවිත කර ඇත. බොහෝ රටවල් ධනාත්මක ප්‍රතිඵල අත්පත් කොටගෙන ඇතිවාක් මෙන්ම හරිහැටි කළමනාකරණය නොකළ විට ඔම්ලට්වලින් බිත්තර සෑදිය නොහැකි ලෙසම නොසිතූ විරූ ප්‍රතිඵල ද අත්විය හැකිය.

මෙම ක්‍රම උපක්‍රමශීලීව යෙදීමෙන්, සංස්කෘතික ඉංජිනේරු විද්‍යාව ධනාත්මක සමාජ පරිවර්තනයකට පහසුකම් සපයන බලවත් මෙවලමක් බවට පත්වන බව අපි විශ්වාස කරමු. මාලිමා ආණ්ඩුව අතීතය සහ අනාගතය අතර සම්බන්ධතාව තහවුරු කරන පාලමක් ඉදි කරමින්, සන්සුන් සමාජයක්, නව්‍යකරණය හා තාක්ෂණය සමඟ ගැළපෙන ජාතික දැක්මක්, සහ ගෝලීය වශයෙන් තරගකාරී සංස්කෘතියක් ගොඩනැඟීමට උත්සාහ ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT