Monday, April 7, 2025
Home » Y වාරණ

Y වාරණ

by damith
April 7, 2025 4:05 pm 0 comment

වැරදි ස්වරයක් වාදනය කිරීම නොවැදගත් දෙයකි. – බීතෝවන්

****

රට කෑමට පාර හදන හොඳ කෑමට තිත

පැරණි ඉතිහාසයකට උරුමකම් කියන ලක්දිව නම් පුණ්‍යභූමියේ යළි උපදින්නට මමත් ඔබත් උදම් අනමින්, පුරසාරම් දොඩමින් පෙරුම් පුරන්නෝ නොවෙ ද? ලාංකිකයන් යනු ආගන්තුක සත්කාර මැනවින් ප්‍රකට කරන්නට සමත් විශිෂ්ට ජාතියක් විදිහට අනෙක් රටවල් අතරින් කැපී පෙනුණු ජාතියක්. අපේ ආහාර සංස්කෘතිය පවා අනෙක් ජාතීන් වගේ පුරසාරම් අනමින් ප්‍රදර්ශනාත්මක ලෙසින් නොපෙන්වපු සංස්කෘතියක්. විදෙස් සංස්කෘතීන්ගේ ආහාර රටා, අපේ සංස්කෘතිය හිස් මුදුනින් පිළිගත්තේ බාර ඔප්පු කරන්න දේවාල ගානේ පෝලිම්වල පලතුරු වට්ටි ඔළුගෙඩි උඩ තියන් ඉන්නවා වගේ. හරිම ශ්‍රද්ධාවෙන්. ඒත් කවදාවත් මෙතෙක් ලාංකිකයන් විදිහට කනට ඇහුවෙ නැති, නුපුරුදු ලෙඩ රෝගවල නම් ගොඩක් දෝතට එන්න ගත්තෙ පර සංස්කෘතීන්ගේ ආහාර රටා බද්ධ කරගත්ත නිසාම තමයි. නොමැරී ජීවත් වෙන්න කාටවත් පුළුවන්කමක් නම් නෑ. ඒත් අවුරුදු අනූවක්, සීයක් ජීවත් වෙන්න අපේ මුතුන් මිත්තන්ට වාසනාව තිබුණා. ඒකට වැදගත්ම හේතුව තමයි ආහාර රටාව. අද සමාජයේ ජීවිතයක ආයු කාලය සීමිත අවුරුදු ගාණකට සීමා වෙන්න හේතුව තමයි පර සංස්කෘතීන් ආහාර.

මාරයාට අත වනමින් තමා මාරයා අභිමුඛයට යාමට සූදානම් බව කියාපාන්නට සමත් සියලු මංමාවත් විවර කරන්නට අද සිංහල ජාතිය සමර්ථව ඇත. අපේ සංස්කෘතියට වින කෙටූ විදෙස් සංස්කෘතිය නිරායාසයෙන් අපට ආවක්ම නොවෙයි. අපේ කැමැත්තට අපම ගෙන්වා ගත්තක්. සංවර්ධනය වීම යන අභිලාෂය මූලික කරගෙන නවමු දේ ජීවිතවලට එක්කාසු කරගන්න සමහරු ලෙඩ රෝගවල ගොදුරක් වුණේ, පරිසරය මවපු සරදමකට නම් නෙවෙයි. බටහිර කෑම විලාසිතාවන් තම ජීවන රටාවේ අනිවාර්ය අංගයක් බවට පත්කර ගත් බොහෝ දෙනා ජීවිතය ගෙවා දමන්නේ රෝහල්හි ඇඳන් මත හුස්මට පොරබඳිමින්ය. එහෙමත් නැත්නම් අල්ල පිරෙන්න තරම් වන බෙහෙත් පෙති සමඟය. යහපත් ජීවන රටාවක් ගෙවා දැමීමට අවැසි සමබල ආහාර රටාවක් ලොව කිසිදු රටක නොපවතින බවත්, ලංකාව සතුවම පවත්නා බවත් අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. ලංකාව කුඩා දිවයිනක් වුවත් පිටරැටියන්ගේ බඩේ ගින්න පවා නිවන්නට සමත් උතුම් ජාතියකි. එවන් ජාතියක පරිහානිය වචනයෙන් කීමට පවා නොහැකිවීම නෙතට කඳුළු ගෙන එන්නක් නොවේ ද?

ලාංකේය සංස්කෘතිය අතහැර දමා වෙනත් සංස්කෘතීන්ගේ පහස සොයා යන්නට වූ බහුතරයට ජීවිතය විඳින්නට වූයේ නැත. ජීවිතය විඳිනවා යැයි සිතුව ද සැබැවින් වූයේ එය කෙටි කලකට සීමා වීම පමණි. අප අපේ සංස්කෘතිය අගය කළ යුතුය. පර සංස්කෘතීන් කාවද්දා ගනීනම්, අපේ සංස්කෘතිය රැකගෙන එය කළ යුතුය. විදෙස් සංස්කෘතීන් දෝතින් වැලඳගත් බොහෝ අයට තම මව, පියා හා ළබැඳියන් පවා අමතක වන්නට ගතවූයේ ක්ෂණයකි. අපේ සංස්කෘතියට වින කෙටූ විදෙස් සංස්කෘතීන් යළි හිස ඔසවන්නට නොහැකි සේ මුලින් කටුගා දැමීම දැන්වත් කළ යුතු නොවේ ද? ලාංකේය සංස්කෘතිය රැකගත යුතු නම් විදෙස් සංස්කෘතීන්ගේ නෑකමට තිත තියන්නට සුදුසුම කාලයයි මේ.

සඳුනි අරවින්දි

****

අනාගතය දරුවන්ගේය

ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොඳවා

පැරණි පිරිවෙන් අධ්‍යාපනයේ ගුරු – ශිෂ්‍ය භූමිකාව සමාජගත වී තිබුණේ එලෙසිනි. ඉන් පසුව බටහිර අධ්‍යාපනයේ ව්‍යාප්තියත් සමඟ පාසල් පද්ධතියේ මෙහෙයවීම

ඉංග්‍රීසි පාලකයන් යටතට පත්විය. විවිධ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමඟ නිදහස් අධ්‍යාපනය ද 1977 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකයේ ධනවාදී පෞද්ගලික මූලධර්ම ද, 80 දශකයේ ධවල පත්‍රිකා යටතේ ද 2000න් පසු කාලයේ ජාත්‍යන්තර පාසල් ව්‍යුහය ද සමඟ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රබල වෙනසකට ලක්විය. මේ නිසා පෞද්ගලික උපකාරක පන්ති කලාව සෑම ශිෂ්‍යයකු උදෙසාම විවෘත විය. ධනවත්වූ සමාජයට මූල්‍ය හැකියාව මත අධ්‍යාපන වරප්‍රසාද හිමි විය. පාසල යන ඒකකය තුළ බැඳී සිටින දරුවන් බාහිර අංශ වෙත යොමු වීමත් සමඟ මූල්‍ය වටිනාකම් සිතා විනය අවභාවිතයට ලක්විය.

විශ්වවිද්‍යාල පරිසරයට දේශපාලනීකරණය ප්‍රබලව අනුගතවීමත් සමඟ අන්තවාදීත්වය වර්ධනය විය. එසේම දේශපාලනික වුවමනා ඉටු නොවන තැන පරිපාලනය සමඟ සිසු ගැටුම් ඇති විය. ඇතැම් අවස්ථාවල මහා මාර්ග, රාජ්‍ය දේපළ ඇතුළු සිවිල්වැසියා පමණක් නොව බෞද්ධාගමික සංහිඳියාවට ගැටුම් ඇති කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ක්ෂණිකව චීවර පොරවා ගනිමින් බලධරයන් සමඟ ගැටීම නිසාය.

පාලක සමාජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කරදරකාරී පද්ධතියක් ලෙස සලකා ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතාවලට සවන් නොදෙයි. මේ හේතුවෙන් උපකුලපතිවරු, පීඨාධිපතිවරු, ආචාර්යවරු සිසුන්ගේ රූකඩ බවට පත්වී ඇතැම් අවස්ථාවල කාමරවල සිරගතව තැබීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මත්පැන් භාවිතයට යාමත් ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පරතරය දුරස්වීමත් නිසා විනය පිරිහී ගිය අතර, පාසල් පරිසරයට ද මෙය බලපෑවේය. ලිංගිකත්වය ද මේ සඳහා පාදක විය.

ආගමික පද්ධතිවල පූජක, පූජ්‍ය උතුමන් ලෞකික ගර්භිත අධ්‍යාපනයට යොමු වීමෙන් ඇතිවුණූ ගැටලුව, පෞද්ගලික අධ්‍යාපන ආයතන කෙරෙහි ළමුන් වැඩි විශ්වාසය තැබීමෙන් සාම්ප්‍රදායික පාසල් ගුරුවරයාට ගරු නොකිරීම, පාසලින් හා නිවෙසින් බැහැරව නගරයට පිවිසෙන දරුවා නව යොවුන් හෝ යොවුන්වියේ පසුවන නිසා අනිසි බලපෑම්වලට ලක්වීම. එයින් විනය පිරිහීම, තාක්ෂණික උපකරණ සමාජයේ සුලබ නිසා පාසල් විනය පිරිහීම මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගිකත්වය, අලෙවි කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිවල අක්‍රමිකත්වය හේතුවෙන් විනය පිරිහීම, පාසල් පද්ධතියට ඇතුළුවන ගුරුභවතුන් හෝ පාලකයන් විවිධ වුවමනා මත යොදනු මිස ක්ෂේත්‍රය ගැන ලබා දුන් පුහුණුවකින් හෝ එහි ඇති වගකීමකින් තොරව වෘත්තිය ආරම්භ කිරීම ආදිය නිසා මෙම විනය පිරිහී යාමට හේතු විය.

ආගමික හා සාහිත්‍ය ආකල්ප අධ්‍යාපනය සඳහා ගෙන ඒම, පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියේ විනයවිරෝධි ක්‍රියාවලට ශිෂ්‍යයන්ට හා ආචාර්යවරුන්ට දැඩි දඬුවම් පැමිණවීම, ශාස්ත්‍රීය හා ප්‍රායෝගික වූ ලෝකයක් කරා අධ්‍යාපන පද්ධතිය යොමු කිරීම, අධ්‍යාපනය සඳහා අවස්ථා සුලබ කිරීම, මානව හිමිකම් සංවිධානවල අනිසි බලපෑම දුරස් කිරීම, මවුපියන් දරුවන් සමඟ ගත කරන කාලය වැඩිකිරීම, මානව හිමිකම් නීති අඩු කිරීම, සිවිල් සමාජයේ කාර්යයක් ලෙස පාසල් හා විශ්වවිද්‍යාල දරුවා ආරක්ෂා කිරීම, නීතියේ නිසි අවධානය හා අපක්ෂපාතී බව ආදියෙන් ළමයා හා ගුරුවරයා, ළමයා හා මවුපියන් අතර සබඳතාව ඇති කළ හැකිය. ඒ හරහා විනය ආරක්ෂා කර ගත හැකිය.

රටක අනාගතය දරුවන් බැවින් ඔවුන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමකි.

සවින්ද්‍යා මධුෂාණි

****

වියෝ දුකද මිහි­රකි

ආදර සබ­ඳ­තා­ව­යක් ඕනෑම මොහො­තක හමාර විය හැකියි.. මන්ද යත් කිසි­වක් සදා­කා­ලික නොවන බැවිනි. එහෙත්, සමු ගැනී­මෙන් පසු­වද අනෙ­කාගේ ගරු­ත්වය ආරක්ෂා කර­න්නට අප උත්සුක නොවීම බර­ප­තළ වර­දක් නොවේද…එකි­නෙ­කාගේ අඩු ලුහු­ඬු­කම් හා දුර්ව­ලතා උළු­ප්පා­ල­මින් දුම්මල වරම ගත් කපු­වෙකු සේ පරල වීම කොත­රම් වැර­දිද ?….ආද­ර­යෙන් බැඳී සිටි­යදී සියල්ල යහ­පත්ය …සුන්ද­රය…මියු­රුය…එහෙත් විරහ වේද­නාව තුළින් ද්වේශ­යක් ඉස්මතු විය හැකිද ?…අප ඊට ඉඩ දිය යුතුද ?…බොහෝ විට යුරෝ­පීය රට­වල සබ­ඳතා ඛේදා­න්ත­යක් හෝ අර­ග­ල­යක් දක්වා ආද­ර­යට මිත්‍ර­ත්ව­යට නොස­රි­ලන මට්ට­මට පත් නොවෙයි… එහෙත්, අපි සබ­ඳතා බිඳ වැටුණු කල ප්‍රකෝප වෙමු…නොඑසේ නම් ශෝකයේ ගැඹු­රට ගිලී යමු..එහෙත්, ජීවන අභි­යෝග මධ්‍යයේ ඉදි­රි­යට යාමට තරම් ආත්ම විශ්වා­ස­යක් හා ආත්ම ශක්ති­යක් වර්ධ­නය කර­ග­න්නට අපි පුරුදු පුහුණු විය යුතු නැද්ද…ජීවි­තය කලා­වකි…ලෝකය රඟ මඬ­ලකි…අපට පැව­රෙන අනේක භූමිකා අපි නිවැ­රැ­දිව හා මනු­ෂ්‍ය­ත්ව­යට නිගරු නොවන අන්ද­මින් ඉටු කළ යුත්තෙමු ..එකල්හී ජීවන ගීතය ගංගාවේ ගීතය සේම මිහිරි වන­වාට සැක නැත…

හමු වන්නට මෙන්ම වෙන් වන්න­ටද සමු ගන්න­ටද අපි උගත යුතුය…එහි ද සුන්ද­ර­ත්ව­යක් හා විචි­ත්‍ර­ත්ව­යක් තිබිය යුතු බව සිහි තබා ගනිමු…

වියෝ දුකද විඳි­න්නට එහිද මිහි­රක් තිබෙන බව පසක් කර­ග­න්නට ප්‍රයත්න දරමු. …

ශාන්ති දිසා­නා­යක

****

ඉතිරි නොකර ඉතිරි කරමු

ඉස්සර වගේ නෙවෙයි දැන් කුස්සියට ගියා කියලා මහලොකු දෙයක් හට්ටිවල ඉතිරි වෙලා නෑ . ඒ දවස්වල නම් රෑට අමුත්තෙක් ආවොත් බඩ පිරෙන්න කන්න දේවල් ඉතුරු වෙලා තිබුණා .ඉතුරු කරන්න තියා, බඩ පිරෙන්න කන්නවත් නෑ කියලා තමයි හැමතැනම කතාව.

ඒත් ඉතින් මිනිස්සු අවුරුද්දට කොහොමහරි කිරි උතුරවන්න අමතක කරන්න් නෑ. පටන් ගන්න අවුරුද්දෙවත් ජීවිතවල වෙනසක් වේවි කියලා බලාපොරොත්තු ඉතුරු කරගෙන තමයි හැමදාම අවුරුදු සමරන්නේ.

ඉතිරිය, ඉතිරි කරනවා කියනකොට මතක් වෙන්නේ අම්මා. ඇය තමයි ලෝකේ හොඳම පිරිමසින්නිය. ඉතුරුම් කරන්නිය. බත් උයද්දි ගන්න හාල් ටිකෙන් පවා මිටි හාල් නැත්නම් හාල් මිටක් වෙනම හට්ටියකට දාලා තියනවනේ. ගෙදර කන්නම දෙයක් නැති දවසට තමයි අර මිටි හාල් ටික වටින්නේ. ඒ විතරක් ද මොනවාහරි දෙයක් හැදුවම ගෙදර එක්කෙනෙක් අඩු නම් එයාගේ කොටස කොහොමහරි ඉතුරු කරලා තියන්නත් අම්මා අමතක කරන්නෑ. ඒ මතක ඔබටත් ඉතිරි වෙලා ඇති .

දැන් කඩේ ගියත් ඉතිරි ගාණටත් ටොෆියක් දෙනවනේ. බස්වල නම් ඉතින් ඉතුරු සල්ලි කොන්දොස්තර මල්ලිට තමයි. ඔහොම හැමදාම රුපියල් දෙක ගානේ කොන්දොස්තර මල්ලි කෙනෙක් දුන්නෙ නැතුව තියාගත්තලු. බස් ගාස්තුව රුපියල් 50ක්ලු. ඉතින් මෙහෙම අරන් තියෙන්නේ පාසල් ගුරුවරියකගෙන්. මිස් ඉල්ලන්න ගිහින් නෑ. දවස් 25ක් ගියාම මල්ලිට කිව්වලු ඉතුරු සල්ලිවලින් අද යනවා කියලා. ඒකත් මාර ඉතිරියක් තමයි.

පොඩි කාලේ අපි පැනගෙන කඩේ ගියෙත් ඉතුරු සල්ලි බලාගෙන තමයි. ඒකෙන් ඉතින් කඩයප්පමක් කන එක වෙනම ආසාවක්.

පොඩි කාලේ බත් කද්දී කිව්වෙ ඉතුරු නැතුව කන්න ඕන කියලා .දැන් කියන්නේ මල්ලිටත් ටිකක් ඉතුරු කරන්න කියලා .කාලයේ වෙනස කොහොමද?

ඔය මොනව කළත් යනකොට ඉතුරු වෙන්නේ කරපු පින් – පව් විතරයි කියලා තමයි වැඩිහිටියෝ නිතරම කියන්නේ .

හදිස්සියක් වුණාම ගන්න තමයි මිනිස්සු ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යන්නේ. බුදුහාමුදුරුවොත් ඉතුරු කිරීමේ වැදගත්කම කියලා දීලා තියෙනවානේ.හම්බ කරන දේවලින් කොටසක් පරිභෝජනය කරලා , කොටස් දෙකක් ආයෝජනය කරලා එක කොටසක් අයින් කරන්න කිව්වා .ආන්න ඒ කොටස තමයි ලෙඩක් දුකක් වුණාම ගන්න පුළුවන් වෙන්නේ.එතකොට ඉතින් එහෙමෙහේ ඇවිද ඇවිද එක එකා ළඟ දණින් වැටෙන්න ඕන නෑ .

ඉතුරු කරන්න ඕන තමයි .එහෙම කියලා නොකා නොබී නම් ඉතුරු කරන්න එපා. ඒක ඉතින් ලෝභකම වෙන්න පුළුවන්නේ. එතකොට තමයි ලෝභයාගේ ඒවා කූඹි කනවා වගේ අන්තිමට තමන්ටත් නෑ අනුන්ටත් නෑ වගේ වෙන්නේ.

සමහර මිනිස්සු ජීවත් වෙලා වගේවගක් නැතුව මැරිලා යනවා. හැබැයි සමහරු මතකය ඉතිරි කරලා යනවා.

සමහර අයගේ ජීවිතවල ඉතුරු වෙලා තියෙන්නේ මතක විතරයි . හරියට ඉතින් සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් වගේ. ඔව් මල් අරන් ගියාට මල්වල මතක අපේ හිතේ ඉතුරු වෙලා තියෙනවා.

ඉතිරිය ගැන කියපු කවි ටිකක් බලමු.

කෙසේ නම් කියන්න ද
දින ගණනක් බව තව ජීවිතය
නොකියාම මිය යමි සොඳුර
හිනැහෙමින් මේ ඉතුරු කාලය

කන්දක් කියන්නේම
දරා ගැනීමක්
ඇඬු දා ට ඉතිරි නෑ එක
ලන්දක්වත්

ඔය ජීවිතයේ ඉතිරි කාලයත් සතුටින්, සමගියෙන් අනෙකාට උදවු කරමින් ගෙවන්න. එච්චරයි ඔබට ඉතුරු වෙන්නේ. හැමදාම ඉතිරි කරනවා කියලා අද ජීවත් නොවී ඉන්නෙපා. ඒක ඉතිරි කිරීමක් වෙන්නේ නෑ.

ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕන මේ අවුරුද්දෙ කියලාම මේ සටහන අවසන් කරනවා.

මනෝජ් ප්‍රසන්න අබේකෝන්

****

අතු ඉති සිසාරා ONLINE ක්‍රමවේද

ජාලගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය කරළියට එන්නේ කොවිඩ් වයිරසය සමඟයි. මීට පෙර ඔන්ලයින් අධ්‍යාපනය තිබුණ ද එයට වැඩි වශයෙන් යොමු වන්නේ මේ කාලපරාසය තුළය. ඔන්ලයින් අධ්‍යාපනය මේ වන විට බලවත් වෙමින් පවතියි. මීට අමතරව බරපතළ ප්‍රශ්නයක් වී ඇත්තේ ද මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයයි. සිසුවෙක්ට ඔන්ලයින් අධ්‍යාපනයක් ලැබීමට නම් තාක්ෂණික දැනුම, තාක්ෂණික උපාංග, අන්තර්ජාල පහසුකම් ද තිබිය යුතුයි.

මහත්මා ගාන්ධි පවසන ආකාරයට 3H(Heara, Hankd, Head) සංවර්ධනය විය යුතුය. මෙම දැනුම, ආකල්ප, කුසලතා යන තුනම ජාලගතකරණය තුළින් සංවර්ධනය කරන්නේ කෙසේ ද? පන්ති කාමරයක් තුළ ලබන අධ්‍යාපනය කිසිසේත්ම ඔන්ලයින් අධ්‍යාපනය හරහා ලබාගත නොහැකි බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු ය.

ලන්ඩන් සාමාන්‍ය පෙළ, කේම්බ්‍රිජ් උසස් පෙළ එකම පාඨමාලාවේ වුව ද විභාග කොටස් වශයෙන් ලිවිය හැකි ය. එමඟින් එම සිසුන්ට පීඩනයක් නොමැත. වෙන රටවල්වලින් හැම දෙයක්ම කොපි කරන්න පුළුවන් නම්, හැමෝටම යුරෝපයට වන්දනා කරන්න පුළුවන් නම් ඇයි ඒ ළමයි විඳින නිදහස අප රට තුළ ඇති කරන්න බැරි? මේ වනවිට ලංකාව තුළ පවතින තත්ත්වය අනුව ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය අත්‍යවශ්‍ය නමුත්, එය පීඩනයකින් තොර විය යුතුය. එමෙන්ම ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය ක්‍රමවේද සකස් විය යුතුය. ඔන්ලයින් හරහා ඉගැන්වීම් සිදු වන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට පෙර පන්ති කාමරය තුළ ඉගැන් වූ විෂය නිර්දේශයමය. එම නිසා ඔන්ලයින් අධ්‍යාපනයට අදාළව විෂය නිර්දේශය සංශෝධනය විය යුතුය.

මෙම ඔන්ලයින් අධ්‍යාපනය නිසා සිසුන් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දී ඇත. ඒ ඔවුන්ට ඒ සඳහා අදාළ පරිසරයක් නොමැති බැවිනි. මීට අමතරව ළමුන්ට කායික රෝග සහ මානසික රෝග තත්ත්වයන් ඇති වී ඇත. ළමුන්ගේ කුටුම්භය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති වී ඇත. එම නිසා වර්තමානයේ පවුල හෙවත් කුටුම්භය ප්‍රතිව්‍යුහගත වී ඇත. එමෙන්ම දැඩි ආර්ථික ප්‍රශ්නවලට ද මුහුණ දී ඇත.

ඩී.ජී.එන්. මධුෂාණි

****

හිතට එන දේවල් හිතේම ලියල තියාගන්නේ නැතුව යෞවනයේ y වාරණ පිටුවට ලියල එක්වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. මේ පිටුව යෞවනයට වුණත් අවුරුදු 16 ගතින් තරුණ පරම්පරාවටත් අවුරුදු 80වේ අදහස්වලින් පිරුණු තරුණ පරම්පරාවටත් මේ පිටුව විවෘතයි. ඉතින් ඔබේ ලිපි, නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.

ලිපිනය – අංක 35, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.

kavi.dinamina@lakehouse.lk

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT