ඉන්දීය – ශ්‍රී ලංකා මිතුදම ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නකි. කලාපීය බලවතා වන ඉන්දියානු අගමැතිවරයාගේ මෙරට සංචාරය ඓතිහාසික සබඳතා අලුත් කරවන්නට සමත් වී ඇත. මෙය අන්තර්ජාතික අවධානයට ද ලක් වන කරුණකි. එසේ හෙයින් ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරය ශ්‍රී ලංකාවට බලපාන අන්දම පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, මානව ශාස්ත්‍ර පීඨයේ, ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙය සැකසිණි.

ආචාර්ය අතුලසිරි සමරකෝන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන අංශය, මානව ශාස්ත්‍ර පීඨය,
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
ඉන්දියානු අගමැතිවරයාගේ මෙරට සංචාරය ඉතාමත් විශේෂිතය. එය පැති ගණනාවකින් විග්‍රහ කළ හැකිය. පළමුවෙන්ම රාජ්‍ය පාලනය දෙසට හැරෙමු. මෙම සංචාරය සම්ප්‍රදායිකව මෙරට පාලනය කරන පාලකයකු බලයේ නොසිටින අවස්ථාවකදී සිදු වූවකි. වාමවාදී පක්ෂයක නායකයකු නායකත්වය දරන සන්ධානයක් බලයට පත්වූ අවස්ථාවකදී මෙවර ඉන්දියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදුණි. එය අතිශය සුවිශේෂීය. ඓතිහාසිකය.
එසේම, ශ්‍රී ලංකාව ඉන්දියාවට ස්තුතිවන්ත විය යුතුය. මෙරට දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටියදී බිලියන 4ක විස්තීර්ණ ණය පහසුකමක් මඟින් ඉන්ධන, ආහාර, ඖෂධ ඉන්දියාවෙන් මෙරටට ලැබුණි. ඉන්දියාව කිසිසේත්ම ශ්‍රී ලංකාව කඩා වැටුණු රාජ්‍යයක් වශයෙන් පැවතීම අපේක්ෂා නොකළේය. ශ්‍රී ලාංකේය ශක්තිමත්බව, ආර්ථික සමෘද්ධිය ඉන්දියාවේද බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාවේ වසර 30ක සිවිල් යුද්ධය, කැරලි කෝලාහල ගණනාවක් පැවතීම සමස්ත කලාපයටම තර්ජනයක්ව පැවතුණු කලක් විය.
මෝදිගේ සංචාරය
අනෙක් අතට, ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරය මෙරට ආණ්ඩුවට අතිශය වැදගත්ය. ශ්‍රී ලාංකේය නව ජනපතිවරයා පත්වී මාස 5කින් කලාපීය බලවතා මෙරට සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ. එය රාජ්‍යයක් වශයෙන් මෙරටට, කලාපයෙන්ම ලැබුණු විශාල පිළිගැනීමකි. එයම ආසියානු කලාපයේ පමණක් නොව ලෝක මට්ටමෙන් ප්රජාතන්ත්රවාදී ලෝකය තුළ මෙරට තවදුරටත් හඳුන්වාදීමට, පිළිගැනීමට ලක්වන කරුණකි. ඒ අනුව මේ සංචාරය මේ අවස්ථාවේදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙරට අනන්‍යතාව, දේශපාලන පද්ධතිය, ආර්ථික ක්‍රමය පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාවට විශාල ඉඟියක් සපයන්නකි. මෙරට විවෘත සහ නිදහස් ලෝකයත් සමඟ ගමන් කිරීමට සූදානම් යන වග මෙයින් කියාපායි.
එසේම, ජනපතිවරයා මේ වන විට චීන සංචාරය නිමා කර ඇත. එවැනි අවස්ථාවකදී මෙය තවදුරටත් වැදගත්ය. ශ්‍රී ලාංකේය ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයේදී ඉන්දීය ජනපතිවරයාට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළේය. හෙතෙම එය පිළිගන්නා ලදි. එසේම එයින් කෙටි කලක් තුළදී හෙතෙම මෙරට සංචාරය කිරීම ඉතා වැදගත් තත්ත්වයකි.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉතා කුඩා රාජ්‍යයකි. එසේම, මෙකල අප ආර්ථික වශයෙන් නැඟීසිටින්නට උත්සාහ දරන මොහොතකි. මේ අවස්ථාවේදී මෙරටට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් දකුණු ආසියානු මෙන්ම ලෝක ව්‍යාපාරික ප්‍රජාව ආකර්ෂණය කර ගැනීම අවශ්‍යය. එහිදී පළමුව මෙරට ඉන්දියාවේ පිළිගැනීම ලබා ගැනීම ඉතා වැදගත්ය. ඉන්දියාව ලොව ශීඝ්‍රයෙන් සංවර්ධනය වන රටකි. ආසියාවේ බලවතා වීමට නොඑසේ නම් ලෝක බලවතුන් හා එක්වීමට නියමිත එරට වර්ෂ 2030 පමණ වනවිට ලොව බලවත්ම ආර්ථිකයකට හිමිකම් කියන රටවල් තුන අතරට ද එක්වනු ඇත. මෙරටට අතිශය සමීප දුරකින් සිටින්නේ එවැනි ලෝක බලවතෙකි.
ඉන්දියානු අගමැතිවරයාගේ එක් ප්‍රධාන විදෙස් ප්‍රතිපත්තියක් වනුයේ අසල්වැසියාට ප්‍රමුඛතාව යන්නය. ඒ අනුව ඉන්දියාවේ ප්රමුඛත්වයක් මෙරටට හිමිය. එසේම, නැඟෙනහිර ආසියානු, අග්නිදිග ආසියානු, බටහිර ආසියානු, ඉන්දියානු විදේශ ප්‍රතිපත්ති අනුව මේ වන විට ඉන්දියාව මුළු මහත් ලෝකයේම මිතුරෙකි. ඉන්දියාවට අන්තර්ජාතික වශයෙන් එවැනි ශක්තිමත් මිතුරු රටවල් රැසකි. එය එසේ වන විට, මෙරටට සිටින ප්‍රමුඛතම, ශක්තිමත්ම මිතුරා ඉන්දියාවය. ඉන්දියානු අගමැතිවරයා ද රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලොව වැඩිම විදෙස් සංචාර ප්‍රමාණයකටත් සහභාගි වී ඇත්තෙකි. අමෙරිකාව, රුසියාව, යුරෝපා කලාපය, ජපානය, චීනය ආදී රටවල් රැසක් ඊට අයත්ය.
ස්වාධීන විදෙස් පිළිවෙත
එසේම, ඉන්දියාව කිසිසේත්ම මෙරට ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියට තර්ජනයක් නොවේ. එරට ඊට ගරු කරන්නකි. මෙහිදී ඉන්දියානු කලාපීය ප්‍රතිපත්තිය අප අවබෝධ කර ගැනීමත් ඊට ගරු කිරීමත් වැදගත්ය. එවිට කලාපීය අනන්‍යතාව රැක ගනිමින් එම කලාපීය මිතුරකු වශයෙන් අපට කටයුතු කළ හැකි වනු ඇත. ඒ ඔස්සේ චීනය, වියට්නාමය, ජපානය ආදී වෙනත් රටවල් කරා ද අපට යා හැකිය. ඒ අතින් බැලුවද, නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ නියමුවා වන්නේ ඉන්දියාවයි.
මේ කොයි අතින් බැලුවද, ඉන්දියාව මෙරටට මහඟු අවස්ථාවකි. එය ඓතිහාසික, සංස්කෘතික, දේශපාලනික මෙන්ම රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද ස්ථිරය. ඒ අනුව ඉන්දියාව සමඟ ඇති කර ගන්නා සියලු සබඳතා එක් අතකින් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරවයි. අනෙක් අතින්, ඉන්දු – පැසිෆික් සාගරය තුළ සාමය සඳහා වන උපායන්ට ද ඉතා වැදගත්ය. එනම්, මේ කලාපය ලොව සියලු බලවතුන්ගේ අවධානයට යොමු වූවකි. ශ්‍රී ලංකාව එහි මර්මස්ථානයකි.
භූගෝලීය, සාගරික ආදී වශයෙන් වැදගත් වන උපායමාර්ගික වැදගත්කමකින් ඉන්දු පැසිපික් කලාපය යුක්තය. ඒ දෙස අමෙරිකාව, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ජපානය, බ්‍රසීලය ආදිය බලා සිටිති. සැබැවින්ම ඔවුන් අද වන විට ලෝක දේශපාලන ව්‍යුහය වෙනස් කර ඇත. ඒ අනුව ලෝක දේශපාලනය තවදුරටත් එක තනි රටක ආධිපත්‍යයට නතු කළ නොහැක්කකි. ඒ තුළ මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් ගණනාවක් ඉස්මතු වී ඇත. මෙයින් කුඩා රාජ්‍යයන්ගේ අවස්ථා වර්ධනය වෙයි.
තාක්ෂණික සහාය
ඉන්දියාව ඉතා පැහැදිලි වශයෙන් විවෘත සහ නිදහස් ඉන්දු පැසිපික් සාගර කලාපයක් වෙනුවෙන් පෙනී සිටියි. එසේම එරට කලාපීය වශයෙන් දැවැන්ත ආයෝජන සිදු කරයි. බලශක්තිය, ඒ ඔස්සේ විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන ආදී සෑම ක්ෂේත්රයකින්ම ඉන්දියාවට ඉතා ක්ෂණිකව පහසුකම් සලසාදිය හැකිය.
අධ්‍යාපන ක්ෂේත්‍රය ගත් විටත් ඉන්දියාවේ විශාල සංවර්ධනයක් දක්නට පුළුවන. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමන් දකුණු ආසියානු කලාපයත් සමඟ මෙරටට අධ්‍යාපනය පිළිබඳ ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. ඒ හරහා ඉන්දියාව ආදී රටවලින් විදේශ අධ්‍යාපනික ශිෂ්‍යත්ව මෙරටට ලැබිණ. තවදුරටත් එම අවස්ථා මෝදි අගමැතිවරයා යටතේ වැඩි කර ගැනීමේ හැකියාව තිබේ. මෙරට අධ්‍යාපනික, සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනයට එය රුකුලකි.
ඉන්දියානු විද්වතුන්, තාක්ෂණඥයන් සමඟ සහයෝගයෙන් අපට කටයුතු කළ හැකිය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙන් ඉන්දියාව දැවැන්ත සංවර්ධනයක් ලබා ඇත. එය අද ලොවම මවිත කරවන්නකි. වැඩිම වෘත්තික ආකර්ෂණයක් ඇති සිලිකන් වැලි නිධි ආදී සම්පත් අප සතුය. මෙරටට ආරක්ෂක, ඩිජිටල්කරණය ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් සහයෝගිතා කලාපයක් ඇති කර ගැනීමේ හැකියාව ද පවතියි. ඊට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම වැදගත්ය. ඒ අනුව ඉන්දියානු ප්‍රතිපත්තිය තුළින්ම සංවර්ධන උපායමාර්ග නිර්මාණය කර ගැනීමට මෙරටට පුළුවන.
එසේම, ඉන්දියාව මෙරටින් අපේක්ෂා කරන්නේ මොනවාද යන්න ද සාකච්ඡා කළ හැකිය. සැබැවින්ම ඉන්දියාවට මෙරට සම්පත් තමන් සතු කර ගැනීම පිළිබඳ අපේක්ෂාවන් හෝ ගැටලු ඇතැයි මෙහිදී සිතිය නොහැකිය. මෙරට භූමිය අත්පත් කර ගැනීම හෝ මුහුදු කලාප අත්පත් කර ගැනීම පිළිබඳ ගැටලු ඉන්දියාවට නොවේ. මෙරට වසර 2000කටත් අධික කලක් තිස්සේ ඉන්දියානු අසල්වැසියාය. ඇතැම් අවස්ථාවල යම් යම් තත්ත්වයන් ඇති වුවද සමස්තයක් වශයෙන් ගත් විට ඉන්දියාව හා මෙරට අතර සබඳතා ඉතා සාමකාමීය. 1987 වර්ෂයේදී ඇතිවූ මතභේදකාරි තත්ත්වය සැලකිල්ලට ගත්තද, එහිදී පවා ඉන්දියාව මෙරට සාමය පිණිස සාම සාධක හමුදා එවීම හරහා මෙරට ජාතික ප්‍රශ්නය විසඳීමට මැදිහත් විය.
දෙරටෙහිම වෙසෙන්නේ එකම සංස්කෘතික කලාපයක වෙසෙන එකම සංස්කෘතික සත්ත්ව කොට්ඨාසයකි. ඉන්දියාව සමඟ සම්බන්ධ වීමට දෙවරක් සිතිය යුතු නැත.
මේ අනුව ඉන්දියාවේ සංවර්ධනය පිළිබඳ වඩාත් සතුටට පත්විය යුතු අසල්වැසියා ශ්‍රී ලංකාවයි. එසේම, එය සමස්ත දකුණු ආසියාවේම දුප්පත්භාවය නැති කිරීමේ මාර්ගයක් බවට පත් කරගත හැකි වනු ඇත. වෙළෙඳපොළ ආර්ථිකයෙන් කිසිම රටකට බැහැර විය නොහැකිය. අපට ද එය එසේමය. ඉන්දියාවත් සමඟ අපනයන වර්ධනය කර ගන්නා අන්දම පිළිබඳ අපට සාකච්ඡා කළ හැකිය. මත්ස්‍ය සම්පත පිළිබඳ පවා පොදු එකඟතාවකට පැමිණීමට පුළුවන. දෙරටට එක්ව විශාල මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇති කළ හැකිය. ඒ හරහා දෙරටේම අඩු ආදායම්ලාභින්ට සෙත සැලසිය හැකිය. සිරිමාවෝ මැතිනිය යෝජනා කළ ඉන්දියානු සාගර සාම කලාපය පිහිටුවීම ද අපහසු නොවේ.
මේ අනුව මෙරට ආර්ථිකය, දූෂණ වංචාවලින් තොරව යළි ස්ථාපිත කිරීමේ අභියෝගය වත්මන් රජය සතුය. වත්මන් ආණ්ඩුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙන් ද අපට පැහැදිලිවම මෙරට ආයතන පද්ධතිය ඩිජිටල්කරණය, රාජ්‍ය ආයතනවල පාරදෘශ්‍යතාව වැඩි කිරීම ආදියේ වැදගත්කම් ඉස්මතු කෙරේ. ඊට ඉන්දියානු විශේෂඥතාව අතිශය වැදගත් වේ.
මේ සියල්ල සැලකිල්ලට ගනිමින්, සාමකාමීව කලාපීය මහා බලවතා සමඟ එක්ව සංවර්ධනය කළහොත්, ඒ හරහා ගෝලීය ආර්ථිකයේ විශාල පංගුවක් අප වෙත නතු කර ගත හැකිය. ජනපතිවරයා නිතර අවධාරණය කරන, ගෝලීය ආර්ථිකයේ පංගුවක් අත්පත් කර ගැනීමේ වෑයමට එය මහඟු මඟකි. එහෙත් ඒ සඳහා මෙරට උපායමාර්ගික වැඩපිළිවෙළ හඳුනා ගත යුතු වේ. ඒ අනුව ඉන්දියානු ආයෝජන මෙරට ස්ථාපිත කළහොත් මෙරටට ආර්ථික අර්බුදයෙන් ගැලවීමට හැකි වනු ඇත.
ඉන්දියානු ප්‍රතිපත්තිය
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඉස්ලාමීය ත්රස්තවාදයට සහ ලෝක ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරන්නෙකි. එසේම, ඔහුට බටහිර, අමෙරිකානු රාජ්‍ය අනුග්රහයන් හිමිය. ඒ අනුව ඉලක්ක කරා ගමන් කිරීමේදී ඉන්දියාවට කලාපීය සාමය අත්‍යවශ්‍යය. එදෙස අප යථාර්ථවාදීව බැලිය යුතුය. නොඑසේ නම් විඥානවාදී හෝ රොමෑන්තිකව විදෙස් ප්‍රතිපත්ති විග්‍රහ කිරීමට ගියහොත් විඳීමට වන විපාක දරුණු විය හැකිය. යුක්රේනය වැනි රාජ්‍යයන් අද අත්විඳින තත්ත්වය ඊට එක් නිදසුනකි. රුසියානු – යුක්‍රේන ගැටලුව දෙස බැලූ විට ඉන්දියානු ප්‍රතිපත්තිය ඊට මුළුමනින් වෙනස් බව සඳහන් කළ යුතුය. ඉන්දියානු ප්‍රතිපත්තිය යටතේ මෙරට ඒකීයතාවට, ඒකාග්‍රතාවට, භෞමික අඛණ්ඩතාවට සැමදා ගරු කරන ලදී.
එසේම, ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයකි. ඒ බව ඉන්දියානු අගමැතිවරුන්ගෙන් කවදත් දක්නට ලැබුණු දෙයකි. එය විශේෂ ඓතිහාසික තත්ත්වයකි. සිරිමාවෝ බණ්ඩාරනායක – ඉන්දිරා ගාන්ධි සබඳතාව ඊට උදාහරණයකි. එය එළැඹ තිබෙන දිසානායක – මෝදි යුගය දෙස ද ඒ අනුව බලාපොරොත්තුසහගතව බැලිය හැකිය. මේ හරහා නැවත ශ්‍රී ලංකාවේ දේශපාලනය, රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසය වෙනස්ම මානයකින් අර්ථ දක්වනු ඇත.
ඉන්දියාව කිසිවිටෙකත් ගෝලීය බල ගැටුමකට ඉඩ නොතබන රාජ්‍යයකි. ඒ වාසිය ඇතුළුව මේ සියල්ල හරහා ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ විශිෂ්ටතම මිතුරාය යන්න අප තහවුරු කර ගත යුතුය. කුඩා රාජ්‍යයක් වශයෙන් අපට ලෝකයට හොඳ හිත, සාමය පිළිබඳ දැක්ම ඉදිරිපත් කළ හැකියි. ඒ, සාමකාමී, ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වශයෙනි.