අසල්වැසි ඉන්දියාව කලාපීය භූගෝලීය බල දේශපාලනය තුළ ඉතා බලවත්ම හා ප්රබලතම සාධකයක් වෙයි. මේ නිසා ඉන්දියාව ‘කලාපීය බලවතා’ ලෙස ද හැඳින්විණි. එමෙන්ම කලාපීය බල දේශපාලනයේ ‘ලොකු අයියා’ ලෙස ඉන්දියාව හැඳින්වූයේ ද එහි ඇති බලසම්පන්නභාවය හේතුකොටගෙනය.
කාලාන්තරයක් තිස්සේ අප ඉගෙන ගත් දේශපාලනික, න්‍යායික මූලධර්ම තුළ ඉන්දීය බල දේශපාලනයේ වැදගත්කම සහ එහි තීරණාත්මක බලපෑම ඉතා මැනවින් සටහන් විය. එහෙත් දේශපාලනික සන්දර්භය තුළ කරුණු විග්රහ කරගත යුත්තේ කාලානුරූපී ලෙස ය. එනම්: තත්ත්වයන්ට හා අවස්ථාවන්ට සාපේක්ෂ ලෙස ය.
ගෝලීය බල දේශපාලනයේ පැරණි උපක්‍රම හා න්‍යායන් අදට ද එලෙසින්ම වලංගු නොවිය හැකි ය. ඒවා අවබෝධ කොට ගැනීම හා විග්රහ කර ගැනීම සිදු කරගත යුත්තේ දේශපාලනික යාවත්කාලීන වීම තුළ ය. මේ මොහොතේ ඉන්දියාවට, චීනයට හෝ අමෙරිකාවට ස්වකීය බල ආධිපත්‍යය තනි රටකට හෝ කලාපයකට යටත්විජිත ස්වරූපයකින් පවත්වාගත හැකි යැයි කල්පනා කළ නොහැකිය.
මේ මොහොතේ ශ්‍රී ලාංකේය බල දේශපාලනය තුළ ඉතා තීරණාත්මක දේශපාලනික සාධකය වී ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම සහ ඒ සමඟ අත්සන් කරනු ලබන ගිවිසුම් පිළිබඳව ය. ඒ පිළිබඳ ධනාත්මක සහ නිෂේධනාත්මක ආකල්ප රැසක් සමාජගතව තිබේ. එහෙත් එය පුරෝකථනය කිරීමට අවස්ථාව මේ යැයි අපි කල්පනා නොකරමු. ප්‍රායෝගික සමාජ, දේශපාලනික තත්ත්වය හමුවේ එයට නිශ්චිත පිළිතුරු ලැබීම ඊට හේතුවයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙවර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිවුවැනි වතාවටය. ඔහු මෙරටට සෑම අවස්ථාවකම මේ ආකාරයේ සමාජ ප්රතිවිරෝධතා ගොඩනැඟුණු බව ඉතිහාසය පරීක්ෂා කිරීමේදී හඳුනාගත හැකිය.
1960 සිට ගත වූ වසර 65ක් තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරුන් 8 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 1962දී ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු ලංකාවට පැමිණ ඇති අතර, 1973දී ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ද මෙරට සංචාරය කොට තිබේ. ඇය සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අතර ඉතා යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් පැවති බවටත්, එය ශ්‍රී ලාංකේය සමාජ දේශපාලනය හිතකර දිශාවට යොමු කළ බවටත් ඉතිහාසය සාක්ෂි දරයි. 1979දී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය මොරාජි දේසායි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, 1987දී ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ද ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබේ. සුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ද, නාවික හමුදා භටයකු විසින් රජීව් ගාන්ධිට පහර දීමේ සිද්ධිය ද වාර්තා වූයේ ඒ අවස්ථාවේදීය. 1991දී ඉන්දීය අගමැති නරසිම්හ රාඕ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර, 1998දී අතල් බිහාර් වජ්පායි සාර්ක් රාජ්‍ය නායක සමුළුවලට සම්බන්ධ වීම සඳහා මෙරටට පැමිණ තිබේ. 2008දී ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං 15වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉක්බිති, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මීට පෙර අවස්ථා තුනකදී ම ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබේ.
එසේ නම් සෑම ඉන්දීය අග්රාමාත්යවරයකුම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ගිවිසුම් අත්සන් කිරීමට නොවන බව පැහැදිලි ය. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදු කරනු ලබන ගනුදෙනු ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් වන බව අප අවබෝධ කොටගත යුතු ය. එසේ නැතිව, තේ කෝප්පයේ කුණාටු දකින තත්ත්වය තුළ සියල්ල විග්රහ කර ගැනීමට යෑම එක්තරා ආකාරයකින් අදේශපාලනිකය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘතික, ආගමික, භාෂාමය දැනුම හුවමාරු කරගැනීම සහ ආධ්‍යාත්මික සම්බන්ධතාවල ඉතිහාසය වසර 2,500කට වඩා ඈතට දිවයයි. ප්රාග් බෞද්ධ යුගයේ පවා මෙරට සහ භාරතය අතර දියුණු වෙළෙඳාම් ක්‍රමවේදයක් පැවතුණු බවට සාක්ෂි ඇති අතර, මිහිඳු හිමියන්ගේ ලංකාගමනයෙන් එය තවදුරටත් තහවුරු වී තිබේ. කලාපීය දේශපාලනය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා මේ සාම්ප්‍රදායික මිත්‍රත්වය දෙරට විසින්ම යළි තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. දියුණු ඩිජිටල් තාක්ෂණික ලෝකයේදී අප ප්‍රවේශ වී ඇත්තේ එවන් සන්දර්භයකට ය. ශ්‍රී ලාංකේය ජනතාව වෙත දක්වන ලද මිත්‍රත්වය සහ සහයෝගිතාව අගයමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’ සම්මානය පිරිනැමූයේ එහි එක් පියවරක් ලෙසය. එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයට බැඳීමක්’ ලෙස ද නම් කෙරිණි. ඒ අතර ආරක්ෂක සහයෝගිතාව, සෞඛ්‍ය සහයෝගිතාව, ඩිජිටල් සහයෝගිතාව ඇතුළු ගිවිසුම් රැසකට ද අත්සන් තැබිණි.
එබැවින් කලාපීය භූ දේශපාලනය තුළ තත්ත්වයන් හඳුනා ගැනීමේදී සහ නිර්ණායක තෝරා ගැනීමේදී පක්ෂ රේඛා සහ බෙදුම් ඉරිවලින් ඔබ්බට ගොස්, මතවාදී සීමාවේ ගැටුම්කාරී සාධකවලින් දේශපාලනය විග්රහ කර නොගෙන, සැකය හා අවිශ්වාසයේ නිර්ණායක මත තීන්දු තීරණ නොගෙන, විචාර බුද්ධියෙන්, අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වනු ඇත.
මෙහිදී ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ඉන්දීය සාධකය, චීන සාධකය, මෙන්ම අමෙරිකානු සාධකය ද වඩා විචාරශීලී ආකාරයෙන් හසුරුවා ගැනීමේ දේශපාලනික අවබෝධය සහ බුද්ධිය වර්තමාන ආණ්ඩුව සතුව ඇතැයි අපි අපේක්ෂා කරමු.
එනිසාම එක් රාජ්‍ය නායකයකුගේ එක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයකින් ශත වර්ෂයකට එහා ගිය දේශපාලනික උපකල්පන හා තීන්දු තීරණවලට පැමිණීමෙන් වළකින්නැයි ඒ පිළිබඳ විරෝධය දක්වන්නන්ගෙන් ඉල්ලා සිටීමට අපි කැමැත්තෙමු.