Home » ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද හුවමාරු කර ගත් අවබෝධතා ගිවිසුම් 07මෙන්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද හුවමාරු කර ගත් අවබෝධතා ගිවිසුම් 07මෙන්න

by chanaka
April 5, 2025 3:46 pm 0 comment

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.

ඒ අනුව

01- විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

02- ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගන්නා ලදී.

03- ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

04- -ආරක්ෂක සහයෝගීතාව පිළිබ‍ඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

05- ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

06- ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

07- නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටී.

මෙරට රජය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරු රැසක් ද, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් යන මහත්වරු ඇතුළු ඉන්දියානු දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT