සමාජ දේශපාලනය කියවා ගන්න මේ තරම් තවත් පොතක් නෑ
– කොළඹ සරසවියේ කථිකාචාර්ය ඔසද ගුණරත්න
පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ඉස්සර ගොඩක් ප්‍රයෝජන ගත්තේ ජවිපෙ මන්ත්‍රීන්
– හිටපු පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ක්‍රිස්ටෝපර් මහේන්ද්‍රන්
පෙරළා දැමූ අගතීන් වළලා දැමීම පුනරුද යුගයේ කාර්යභාරයක් යැයි ප්‍රවීණ මාධ්‍යවේදී විමල් කැටපෙආරච්චි මහතා පැවසීය. මාධ්‍යවේදී ලලිත් ප්‍රියදර්ශන දයාරත්න විසින් සම්පාදිත මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම කෘතිය ජනගත කිරීම නිමිත්තෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවති උත්සවයේදී ඒ මහතා පෙරේදා (02) මේ බව කීවේය. 2024 දී අපි මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමුවා පමණයි. වළලා දැමුවේ නැහැ. මේ සංකේතාත්මක දේශපාලන සර්ප හිස වළලා දැමුවේ නැති නිසා වොයිස් කට් දේශපාලනයේ කෙළ පැමිණි අය ජාති, ආගම් ප්‍රශ්න අවුළුවන්න උත්සාහ කරනවා යැයිද හෙතෙම කීවේය.
එහිදී වැඩිදුරටත් විමල් කැටපේ ආරච්චි මහතා මෙසේද පැවසීය.
ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ තහනම් කළේ 83,88,89 සිද්ධිවලට වගකිව යුතුයි කියමිනුයි. 83 සිට 89 වෙන තෙක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියා. ඒක වහල දාපු කතාවක්. භීෂණය කොහොමද හැදුණේ කොහොමද කියන මූලයන් ගැන කවුරුත් කතා නැහැ. 83 – 89 අතර වසර පහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ දේශපාලන අභිලාෂයන් ජය ගැනීමට උපරිම උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය අසාර්ථක වූ තැන, එවකට ආණ්ඩුවේ මර්දනය හමුවේ ආත්මාරක්ෂාව වෙනුවෙන් හා දේශපාලනයේ තවත් මුහුණුවරක් ලෙස සන්නද්ධ අරගලයට යන්න සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත කතාව.
1983 ජූලි 20 පළ වූ සීනුව පුවත්පතේ, ඒ කියන්නේ ජූලි සිදුවීම් ආසන්නයේ 83 මහමැතිවරණය පවත්වන්නයි ලිපියක් පළ වෙලා තිබෙනවා. ආයුධ ගන්න සැදී පැහැදී හිටපු සංවිධානයක් මහමැතිවරණයක් ඉල්ලයි කියා ඔබ විශ්වාස කරනවද?. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අභිලාෂ වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම තමයි 83-88 අතර වසර 5 වසා දැමූ ඉතිහාසය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට කළ අරගලය මර්දනය නිසයි 88,89 සිද්ධිවලට මඟ පෑදුණේ. වසා දැමූ මේ ඉතිහාසය දෙස බලන්න ප්‍රියදර්ශනගේ කෘතිය අපට බල කරනවා. මේ කෘතිය පුරා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් කළ සටනේ අකුරක් ගාණේ තියෙනවා. ඒ අවකාශයට ඉඩ නොදී අවකාශය පටු කර මර්දනය ගෙනාපු එකයි ඉතිහාසයේ වුණේ. එක පැත්තකින් වාම ව්‍යාපාරයේ මර්දනය කළ අතරේ අපට උතුර මඟ ඇරෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් එකමුතුකම ගැන මීට කලින් කතා කළානම් මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දාන්නේ 2024ට කලින්.
යුද්ධය සම්බන්ධයෙන් වාම ව්‍යාපාරයේ පක්ෂපාතීත්වය එයට බලපෑ න්‍යායාත්මක හේතු අතරේ ජාතික ප්‍රශ්නයට පන්ති ප්‍රශ්නය යටපත් වුණා. 2024 දි උතුරු – දකුණු හැමෝටම පන්ති ප්‍රශ්නය පෙනුණේ ජාතික ප්‍රශ්නය විසඳුණු නිසයි.
ජාතික ප්‍රශ්නය විසඳුණු ආකෘතියට වාම ව්‍යාපාරය දැක්වූ සහාය ගැන වෙනම විවේචන තිබිය හැකියි. අනෙක් පසින් 2024 දී පුනරුද පරිවර්තනයක් සිද්ධ වෙයිද බෙදුම්වාදි යුද්ධයක් රටේ තිබිලා තිබුණා නම්. එහෙම වුණානම් අපේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ ඒ ජාතික ගැටලුව දෙසටයි.
මේ සංවාදය වාම ව්‍යාපාරයෙන් සිදුවූ යම් මඟහැරීම් තිබුණා නම් අනාගතයේ ඒ මඟහැරීම් නිවැරදි කරන්න වෙන්නේ ඒවා හරියට කියවා ගත්තොත් විතරයි. හුවමාරු දේශපාලනය උතුර දකුණ ගැන හිතලා පන්ති ප්‍රශ්නය මීට වඩා බරකින් ගත්තා නම් අපි අද කතා කරන නූතන ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.
පුනරුද ආණ්ඩුවේ ඊළඟ වැඩ කොටස මැදමුලන වඩුක්කොඩෛ දේශපාලනය වළලා දැමීමයි. සිද්ධ වුණේ ආණ්ඩුව පෙරළිලා මුහුණු වෙනස්වීමක් නෙමේ. පුනරුද පරිවර්තනය හරයාත්මක අගය ජනතාවට වැඩි වශයෙන් නිර්මාණාත්මකව ඒත්තු ගැන්විය යුතුයි. 1980 ගණන්වල ඉඳලා අපේ ලොවක් හදන්න කලා මාධ්‍යවල පවා කතා කළා. අපි එය කළා.මෙතැනින් ඉදිරියට පුනරුද යුගයේ කාර්යභාරය තේරුම් ගනිමින් කටයුතු කළ යුතුයි. පාලන බලය දිනා ගැනීම දක්වා ප්‍රගතිශීලි සිහිනයක් අපට තිබුණා. දැන් ඒ සිහිනය සාක්ෂාත් කරගත්තා. ඒ නිසා පෙරළා දැමූ අගතින් වළලා දැමීම පුනරුද යුගයේ කාර්යභාරයක් වෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය ඔෂද ගුණරත්න මහතා-
කෙනෙකුට කෘතියක් කියවා ගැනීමේ ගුණය තියෙන්න ඕනෑ. ලේඛන කලාවේ උපමා රූපක යොදා ඕනෑ තරම් ලියන්න පුළුවන්. නමුත් කටවහරෙන් ලියනවිට හොඳටම ලියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් එය ලිපියක් කියවනවා වගෙයි. සමාජ දේශපාලනය කියවා ගන්න මේ තරම් තවත් පොතක් නැහැ. පොතේ කර්තෘ පෙළගස්සලා පෙන්නනවා 48 නිදහස ලබලා 59 බණ්ඩාරනායක ඝාතනය දක්වාම කතාව. දෙදාහෙන් පස්සේ ඉපදුණු අයගෙන් 71 සියවස්වල දේශපාලනය බලාපොරොත්තු වෙන්න බැහැ. 2021 දී තිබූ අරගලය බොහෝ වෙනස්. ඒ තරුණ තරුණියන්ගේ ප්‍රකාශන විලාසය, සටන් පාඨ, අරගල ස්වරූපයන් වෙනස්. සෞන්දර්යාත්මකයි. නමුත් එදා අපේ තරුණ තරුණියන්ට වඩා අද තරුණ තරුණියන්ගේ දේශපාලන අවබෝධය අඩුයි. ඒ නිසා
මෙවැනි මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම පොත දේශපාලන දැනුම ලබා ගැනීමට හොඳ කෘතියක් ලෙස හඳුන්වන්න කැමැතියි.
හිටපු පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ක්‍රිස්ටෝපර් මහේන්ද්‍රන් මහතා – දේශපාලනය කරන්න වුණත් නිසි අධ්‍යාපනයක් තියෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව ඇතුළේ තියෙනවා ලොකු පුස්තකාලයක්. ඒකෙන් ඉස්සර ගොඩක්ම ප්‍රයෝජන ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්. හැම වෙලාවෙම කරන්න ඕනෑ දැනුම සොයාගෙන යෑමයි. නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනෑ. එයට අවශ්‍ය කරන පියවර රජයෙන් ගන්න ඕනෑ. දෙමළ භාෂාව අවශ්‍යයි. නමුත් රාජ්‍ය භාෂා එකේ හෝ කොහේ හෝ විභාග කර සහතිකයක් ගත්තට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන්ද? ඒකට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විසඳුම් පෙන්වා දී තිබෙනවා.
සිළුමිණ කර්තෘ උදේනි සමන් කුමාර මහතා – මෙතැනදී මැදමුලන සහ වඩුක්කොඩෛ පද දෙක එකට සම්බන්ධ කරනවා. වඩුක්කොඩෛ කියලා කියන්නේ දෙමළ ජාතිවාදයේ මුදුනයි. නැතහොත් ආරම්භක ස්ථානයයි.
දෙමළ ජාතිවාදයේ ආරම්භය වුණු වඩුක්කොඩෛ, සිංහල ජාතිවාදයේ තියෙන්නේ මැදමුලනයි. දෙකම එකම සර්පයාගේ ඔළු දෙක වගේ. ඒ ඔළු දෙක තමා 2024 පරාජය කර දැම්මේ. මේක කර්තෘ ලස්සනට ලියලා තිබෙනවා. මේ පොතේ ලස්සන දාර්ශනික පෙළගැස්මක් තිබෙනවා.
මැදමුලනවඩුක්කොඩෛ පෙරළා දැමීම කෘතියේ කර්තෘ මාධ්‍යවේදී ලලිත් ප්‍රියදර්ශන දයාරත්න මහතා-
මේ මානව සමාජය ඇතුළේ අපට බොහෝ මිනිසුන් හමුවී තිබෙනවා. ඒ මිනිසුන්ගේ පපු කුහරය ඇතුළේ තිබෙන මනුෂ්‍යත්වය අපි බොහොම නරක විදිහට පාගා දමනවා. අවිහිංසාවාදී තරුණ තරුණියන්ට මැයි 9 ගෝල්ෆේස් එකේ ගහන වෙලාවේ අපි දැක්කා.මේ රටේ ජනතාව නැඟිටපු විදිහ. මිනිස්සු මේ ප්‍රතිප්‍රහාරයේ ගැඹුර තේරුම් ගන්න ඕනෑ. මේ ගැන ශාස්ත්‍රීය ලේඛන කොයිතරම් ගොඩනැඟෙන්න ඕනෑ ද. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත චින්තකයෝ විශාරදයෝ කෝ. දේශපාලකයන්ට ඕනෑ විදිහට ලේබල් කරන්න ඇරලා අනෙක් හැමෝම නිහඬව ඉන්නවා. මේකේ ඊට වැඩි යමක් තියෙනවා බව කියන්න මට ඕනෑ වුණා.
වැලිමඩ කොටවෙර ශ්‍රී සුභද්‍රාරාම විහාරයේ විහාරාධිපති බුත්තල බුද්ධානන්ද හිමි, තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, දිනමිණ කර්තෘ ප්‍රදීප් දසනායක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

වැලිමඩ කොටවෙර ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති බුත්තල බුද්ධානන්ද හිමිට “මැදමුලනවඩුක්කොඩෛ පෙරළා දැමීම” කෘතියේ පිටපතක් පිරිනැමූ අයුරු.
ඡායාරූප දුෂ්මන්ත මායාදුන්නේ