ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඇති කළ නව බදු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ආනයන භාණ්ඩ සඳහා විශාල ලෙස බදු පැනවීමක් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අමෙරිකාව වෙත අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන බදු මුදල 44%ක ඉහළ අගයක් දක්වා වැඩිකර තිබේ. මේ අධික බදු නිසා මෙරට අපනයන භාණ්ඩ සඳහා වූ වෙළෙඳපොළට සිදු වන බලපෑම් පිළිබඳව ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සේවක සංගම් නියෝජිතයන් දැක්වූ අදහස් පහත දැක්වේ.
අපේ අපනයන වෙළෙඳපොළ ප්‍රසාරණය කරගනිමු
– ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන්
ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන අංශය මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
“ගෝලීය වෙළෙඳෙපාළ තුළ ඇති වී තිබෙන අසමතුලිතතාවන් හේතුවෙන් සමතුලනය පිණිසයි මූලිකවම අමෙරිකාව මේ පියවරට යොමු වී තිබෙන්නේ. ඒ යටතේ ආනයනය කරන භාණ්ඩ මත අය කරන බදු සීමා ඉහළ නැංවීමට අමෙරිකාව තවදුරටත් දක්වන හේතූන් අතර, දේශීය නිෂ්පාදන දිරිගැන්වීම, අහිතකර භාණ්ඩ රටට ඇතුළු වීම වැළැක්වීම ආදිය වෙනවා. මෙය අමෙරිකාවේ ප්‍රතිපත්තියක්. අමෙරිකාව ගෝලීය වශයෙන් අත්පත් කරගෙන තිබුණු තත්ත්වයේ කඩා වැටීමක් වෙනවා. එරටටත් ගැටලු රැසක් පවතිනවා. එරටට තවදුරටත් ගෝලීය ලිබරල් වෙළෙඳපොළෙහි අනුග්‍රාහකයා විය නොහැකියි. ඒ ගැටලුව මෙහි මූලික වශයෙන් තිබෙන්නේ. ඒ අනුවයි අප මෙදෙස බැලිය යුතුව තිබෙන්නේ. අප මේ ගැටලුව දෙස බැලිය යුතු ආකාරයේ වෙනසක් විය යුතු වන්නේ එනිසායි. එසේම, එරට රිපබ්ලිකන් පක්ෂය බලයේ සිටියදීයි මේ තීරණයට පැමිණ තිබෙන්නේ. පොදුවේ සෑම රටකටම 10%කින් ආනයන බදු ඉහළ නැංවීමක් සමඟයි තවදුරටත් විවිධ රටවලට අදාළව තීරු බදු අනුපාත ඉහළ දමා තිබෙන්නේ. චීනයත් සමඟ සංසන්දනයේදී වුවත් අමෙරිකාවට විශාල වෙළෙඳ පරතරයක් පවතිනවා. එය ඩො. බි. 295ක් පමණ වෙනවානේ. ඒ අනුව අමෙරිකාවත් මුහුණ දෙන තත්ත්වයන් තුළයි මේ බදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නේ. යළිත් මේ ප්‍රතිපත්තිය නිසා බැරෑරුම්ව ගෙන කටයුතු කළ යුතුයි. අමෙරිකාවේ ප්‍රතිපත්තිය වන්නේ විවෘත වෙළෙඳපොළයි. කුඩා රාජ්‍යයක් වශයෙන් අප සාකච්ඡා කරමින් මෙය විශේෂ තත්ත්වයක් වශයෙන් සලකා මෙරටට විශේෂ අනුග්‍රහයක් අපේක්ෂා කිරීම අවශ්‍යයි.
එතැනින් තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට හැරණොත්, විශාල වෙෙළඳ වාසියක් අමෙරිකාවෙන් මෙරටට තිබෙනවා. වාර්ෂිකව මෙරට ඩො.බි. 3.4ක ( වර්ෂ 2024) අපනයන වෙළෙඳාමක් මෙරටත් කරනවා. එහෙත්, මෙරටට එරටින් ආනයනය කරන්නේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. එවිට බිලියන 2.6ක පමණ වෙළෙඳාමේදී බදු සහන මට්ටමක් මෙරටට අමෙරිකාව සමඟ පැවතුණා. ඒ, අපට ලැබෙන්නේ අපනයනයේදී මෙරටට එරටින් ලැබෙන GSP වැනි සහන නිසයි. මේ අනුව අමෙරිකානු වෙළෙඳපොළ අපට ඉතා වැදගත්. එය අහිමි වුවහොත් අපට එයින් තදබල බලපෑමක් වෙනවා. මෙරට ප්‍රධාන අපනයන ඇඟලුම්, නිමි ඇඳුම්, රබර් භාණ්ඩ, මැණික් ආදිය ඒ අතුරෙන් ප්‍රධානයි. ඒවා අපනයනය කරන ප්‍රධාන කලාපයේ අමෙරිකාව සිටිනවා. එසේම, එම ඩො. බිලියන 3ක පමණ අපනයන වෙළෙඳපොළ අප ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. නොඑසේ නම් මෙරට කර්මාන්ත වැසී යෑම, රැකියා අවදානම ආදී අවදානම් මතු වෙනවා. විදේශ ඉපයීම් පහත වැටීම මෙහි තවත් භයානක අවදානම්කාරි තත්ත්වයක්. අමෙරිකාවත් සමඟ මෙරට වෙෙළඳාම් වැඩි වෙමින් පැවැති අවස්ථාවකදීයි මේ ගැටලුව මතුවී තිබෙන්නේ. අනෙක, ලෝකයේ බල තුලනය වෙනස් වෙමින් පවතින විටදීයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. ලෝකයේ බල කලාප ගණනාවක් මතු වෙමින් තිබෙනවා. ඉන්දියාව, රුසියාව, චීනය, ජපානය ආදී බලවතුන් ගණනාවක් මතු වෙමින් සිටිනවා. එහෙත් ලෝක වෙළෙඳපොළට විශාල බලපෑමක් තවමත් අමෙරිකාවට කළ හැකියි. මේ එවැන්නක්.
බලවත් රටවල් මේ තීරණය පිළිබඳ අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට පෙලඹී සිටිනවා. එසේම, විවිධ ප්‍රතිචාර දක්වමින් සිටිනවා.
මෙහි අහිතකර බලපෑම් මඟ හරවා ගැනීමට මෙරටට ගත හැකි පියවර පිළිබඳ සොයා බැලිය යුතුයි. ශ්‍රී ලංකාවට අපනයන බදු 44%ක් තරම් මට්ටමක පවතින්නේ. එහෙත්, ඇතැම් රටවලට 90% සහ 100% මට්ටමටත් එය දැඩිකොට තිබෙනවා. එසේම, ආයෝජකයන්, කර්මාන්තකරුවන්ට මෙය බෙහෙවින් අසතුටුදායක තත්ත්වයක්. එසේම, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කළ යුතුයි. එවිට තීරු බදු මට්ටම අඩු කර ගැනීමට උත්සාහ කළ හැකියි. අමෙරිකාවේ මිතුරු යුරෝපා හවුලට අඩු තීරු බදු මට්ටමක් තිබෙන්නේ. අපටත් ඒ අනුව මේ බදු අනුපාතය අඩු කර ගැනීම ඉතා වැදගත්. මෙරටත් අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට යොමු වීමේ වැදගත්කම මෙයින් කියාපානවා. අප රටේ ආනයන, අපනයන කලාප එකිනෙකට වෙනස්. යුරෝපය සහ අමෙරිකාව ආදී රටවල් කිහිපයක් මත මෙරට අපනයන බහුලව තීරණය වී තිබෙන්නේ. අපනයන වෙළෙඳපොළ වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙයින් පැන නඟින කරුණක්. ක්ෂණිකව මේ පිළිබඳ අපට අමෙරිකාවත් සමඟ සාකච්ඡාවට පිවිසිය හැකියි.
එසේම, මේ තීරණයත් සමඟ වන මෙරට ආර්ථිකයේ කඩාවැටීම පිළිබඳ අපට සාකච්ඡා කිරීමට වෙනවා. කලාපීය වශයෙන් අපි යම් ආකාරයක සහයෝගයකට ඉන්දියාවත් සමඟ යෑමේ අවශ්‍යතාව මෙයින් තීව්‍ර කරනවා. එළැඹෙන ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේදී කලාපයටම අමෙරිකාවේ මේ තීරණයෙන් වන බලපෑමට පිළියම් සාකච්ඡා කළ හැකියි. වෙළෙඳපොළ වෙනස් වුවහොත් එය ප්‍රතිපූර්ණය කර ගැනීමේ අවශ්‍යතාව අප එහිදී සාකච්ඡාවට ලක් කළ යුතු වෙනවා. තවදුරටත් අමෙරිකාවට අවශ්‍ය කරන භාණ්ඩ මෙරටට නිපදවිය හැකි නම්, ඒ අතින් අපට එරටට අපනයන කළ හැකි ඇතැම් භාණ්ඩ සඳහා එරටින් බදු පනවා නැහැ. ඇතැම් ඛනිජ ද්‍රව්‍ය ආදිය ඒ අතර වෙනවා. ඒ අතර ඇඟලුම් වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීමේදී අමෙරිකානු ආයෝජකයන් සමඟ කටයුතු කිරීමට සිදුවීම ආදී පියවර කරා යොමු වීමට සිදු විය හැකියි. ඒ අතරතුර මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රසාරණයට කටයුතු කළ යුතුයි.”
ගෝලීය ගැටලුවකදී ශ්‍රමිකයන්ගේ පැත්තට දිය හැකි සහාය ඉතාම අල්පයි
– ප්‍රධාන ලේකම් අශිලා දන්දෙනිය
ස්ටැන්ඩ් අප් මූව්මොන්ට් ලංකා සේවක සංගමය
“ පසුගිය 2009 වසරේදී ජීඑස්ටී බද්ද ශ්‍රී ලංකාවට පැනවීම ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ට තදින්ම බලපෑවා. ඒ අවස්ථාවේදී ශ්‍රමිකයන්ගේ උදේ ආහාරය සඳහා ලබාදුන් පාන් බාගය, කාලක් බවටත් සබන් කෑල්ල බාගයක් බවට පත් කරන තරමට සියලුම අලාභයන් සේවකයා මත පැටවුවා. සෑම විටම එළියෙන් එන ගැටලු ශ්‍රමිකයාගේ කර මතින් යවන්නට ආයෝජකයා පියවර ගන්නවා. ආයෝජකයාගේ ලාභාංශ කොටස අඩු කරන්නට කිසිවිටකත් සූදානම් නැති එක මෙයට හේතුවයි. ඒ නිසා සෑම සේවකයෙකුටම ඍජුවම හානිදායක අයුරින් බලපානවා.
දෙවැනි කාරනය මේ වන විටත් ඔටෝ මැෂින් සහ ඒ.අයි. තාක්ෂණය අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට පැමිණ අවසන්. ඉහළ මට්ටමේ ඇඟලුම් කර්මාන්තවල මේක දැන් ක්‍රියාත්මක කරනවා. එවැනි කර්මාන්තශාලාවල ශ්‍රමිකයන්ට බරපතළ ගැටලු දැනටමත් ඇතිවෙලා ඉවරයි. සෞඛ්‍ය ප්‍රශ්න, ටාගට් වැඩි කිරීම, අතිකාල අහිමි කිරීම, ප්‍රතිලාභ දීමනා අඩු කිරීම සහ ඒවා ලබාදෙන ක්‍රමවේද පවා වෙනස් කර තිබෙනවා. ශ්‍රමිකයන්ට නිශ්චිත වැටුපක් නැති නිසා, අතිකාල, ප්‍රතිලාභ දීමනා වැනි දේවලින් හොඳ වැටුපක් ගන්න ශ්‍රමිකයන් උත්සාහ දරනවා. දැන් ඊට බාධා ඇතිවෙලා.
තුන්වැනි කාරණය අපේ රටේ ඇඟලුම් කර්මාන්තශාලාවලත් දවස් පහේ වැඩ සතිය ක්‍රියාත්මක කිරීමට දැනටමත් කර්මාන්තශාලා 150කට වැඩිය අනුමැතිය ලැබී තිබෙනවා. ඇමරිකාව පැනවූ බද්ද වැනි ගෝලීය කරුණු නිසා දවස් පහේ වැඩ සතිය වැනි දේවල් ස්ථිර විය හැකියි. ඒවා ශ්‍රමිකයාට තදින්ම බලපානවා.
මේ වගේ කාරණා නිසා අද වන විට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා නැති වෙලා තිබෙනවා. කර්මාන්තශාලාවල සේවක සංඛ්‍යාව සියයට 50ක් දක්වා අඩු කරලා තිබෙනවා. ඇමෙරිකාව පැනවූ සියයට 44 ආනයන බද්දත් ඊට දෙවැනි නොවී අපේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ට ඍජුවම බලාපානවා.
වෘත්තීය සමිති සමග ඇඟලුම් කර්මාන්තයේ සේවකයන්ගේ දායකත්වය සියයට හතරක් වගේ මට්ටමක පවතින නිසා සංවිධානගත වීමක් නැහැ. ඒ නිසා ශ්‍රමිකයන්ගේ පැත්තෙන් මෙවැනි ගෝලීය ගැටලුවකදී ලබාදිය හැකි සහාය ඉතාම අල්පයි.”
අපේ සැපයුම් වේගවත්ව සහ ගුණාත්මකව වැඩි කරන්න ඕනෑ
– වෙළෙඳ කලාපය සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස්
“අපේ ප්‍රධාන තරගකරුවන් වන චීනය, වියට්නාමය, ඉන්දියාව, බංග්ලාදේශය රටවල් ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා සියලුම අමුද්‍රව්‍ය එම රටවලදීම නිෂ්පාදනය කරන නිසා ඔවුන්ගේ නිෂ්පාදන වියදම අඩුයි. ඇණවුමක් සපුරන්න ගත වන්නේත් සුළු කාලයයි. ඒත්, අපි අමුද්‍රව්‍ය සියයට සීයක්ම ආනයනය කරන නිසා නිෂ්පාදන වියදම ඉහළයි. ඇනවුමක් සපුරන්නත් වැඩි කාලයක් ගතවනවා. ඇඟලුම් කර්මාන්තය ආරම්භ කර අවුරුදු 47ක් ගත වුණත් නිෂ්පාදන වියදම අඩු කරගන්නට අවශ්‍ය කිසිම විධි විධානයක් සකස් කරගෙන නැහැ. මේ නිසා ගෝලීය සැපැයුම් ජාලයෙහි යැපෙන්නට වෙලා.
අමෙරිකාවට බදු පනවන්නට එපා කියන්නට හෝ ඊට එරෙහි වන්නට අපිට හැකියාවක් නැහැ. ඒ සඳහා අපි වේගවත් සැපයුමක් සහ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය වැඩි කළ යුතුයි. මේ කර්මාන්තය මුලින් පැවැතුණේ අමෙරිකාව සහ යුරෝපා රටවලයි. ඒවා අනෙක් රටවලට ගෙන එනු ලැබුවේ ලාබදායී ශ්‍රමය නිසයි. අපේ රටේ ශ්‍රමිකයන්ට හොඳට සලකන්නේ නැහැ. ශ්‍රමයට සරිලන වැටුපක් දෙන්නේ නැහැ. අනෙක් පහසුකම් දෙන්නෙත් නැහැ. මේක ගෝලීය පාරිභෝගිකයන් දැන් දන්නවා. ඒ නිසා අපි වගේ රටවල නිෂ්පාදිත නිමි ඇඳුම් ‘ඩර්ටි ක්ලෝත්’ ලෙස හඳුන්වනවා.
අලෙවිය අඛණ්ඩව කිරීමට නම් නිමි ඇඳුම් ‘ක්ලීන් ක්ලෝත්’ බවට පත් කළ යුතුයි. ඒ සඳහා ශ්‍රමිකයන්ට හොඳ වැටුපක් ගෙවිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ අනෙකුත් සුබසාධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. වෘත්තීය අයිතිවාසිකම් සලසා දිය යුතුයි. චීනය සහ වියට්නාමය වගේ රටවල වෘත්තීය සමිති ප්‍රබලයි. ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් ගෙවලා වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරනවා. ඒ නිසාම ඒ රටවල නිෂ්පාදන මිල දී ගන්නට අමෙරිකාව වගේ රටවල් කැමැතියි.
අපේ ඇඟලුම් සමාගම් මේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ තමන්ට තනියම මේ නිෂ්පාදනය කළ හැකියි කියා. ඒත් ශ්‍රමිකයන්ගේ දායකත්වය නැතිව මේක කරන්න බෑ. වෘත්තීය සමිති පිළිඅරගෙන වැඩ කළ යුතුයි. ඇඟලුම් කර්මාන්තශාලා 350කට වැඩි ප්‍රමාණයක් තිබුණත් එක කර්මාන්තශාලාවක සාමූහික ගිවිසුමක් හැර අනෙක් කර්මාන්තශාලාවල නැහැ. වෘත්තීය සමිතියක් හැදුවොත් ඒ සේවකයන් ඉවත් කරනවා. එවැනි ශ්‍රමික බලපෑමක් තබාගෙන සියයට සියයක කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වන්නට බැහැ.
වෘත්තීය සමිති විදියට මේ පිළිබඳ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්න අපි කැමැතියි. ආණ්ඩුව එවැනි සාකච්ඡාවලට මුලපිරිය යුතුයි. කිසිදු ආර්ථිකයක් තනිව නැඟී සිට නැහැ. රටක් දියුණු වන්නට ආර්ථික කුලුනු තුනක් තිබෙනවා. එක කර්මාන්තශාලා හිමියන්, දෙවැන්න රජය, තුන්වැන්න වෘත්තීය සංගම්. මේ තුන් වර්ගය එකතු වුණොත් පමණයි රටක් ඉදිරියට යන්නේ. මේවා පිළිබඳ කතා කරන්නට සහ අපේ අදහස් කියන්න සාකච්ඡා මණ්ඩපයක් නැහැ.”
අපි පනවා තිබෙන 88% ආනයන බද්ද ඉවත් කළ යුතුයි
– ආර්ථික විශ්ලේශක චිත්‍රාල් ජයවර්ණ
“ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අමෙරිකානු භාණ්ඩ සඳහා සියයට අසූවක බද්දක් පනවා තිබෙනවා. දැන් අලුත් තත්ත්වය තමයි අපි අමෙරිකාව වෙත අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා එරට විසින් සියයට හතළිස් හතරක බද්දක් පනවා තිබෙනවා. අමෙරිකාව කියන්නේ අපේ රටේ ප්‍රධාන අපනයනකරුවෙක්. අපේ රටේ ප්‍රධානම ඇඟලුම් ගැනුම්කරුවාත් අමෙරිකාවයි.
මේ තත්ත්වය තුළ අප අප මේ ගැන වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.9ක්. ඒ අතරින් ඩොලර් බිලියන 1.7 පමණ ඇඟලුම් ආදායම විදිහටයි තිබෙන්නේ. මෙයිනුත් වැඩිම පංගුවක් තිබෙන්නේ අමෙරිකාව වෙත යවනු ලබන ඇඟලුම්වල ආදායමයි.
ඒ නිසා අමෙරිකාව අප රට වෙත පනවන ලද සියයට හතළිස් හතරක බදු පැනවීම නිසා අපේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වීමේ අනතුරක් තිබෙනවා. ඒ තත්ත්වය පිළිබඳව මනා ලෙස අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතුයි. මේ තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව මෙන්ම එවැනි තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ හැකියාවද තිබිය යුත්තේ මෙරට විසින් පත්කර ඇති තානාපති සේවයටයි. අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතාට මෙහිදී ලොකු වගකීමක් තිබෙනවා.
එහිදී අප රටක් විදිහට කළ යුතු පළමු කාර්ය බවට පත්විය යුත්තේ අමෙරිකාව වෙත අපි පනවා තිබෙන සියයට අසූඅටක ආනයන බද්ද ඉවත් කිරීමයි. එමඟින් අපට සංඥාවක් ලබා දීමට පුළුවන් සුහදත්වය මඟින් ඇතිව තිබෙන ගැටලුසහගත තත්ත්වය විසඳිය හැකියි කියලා. අනෙක අමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් කුඩා වෙළෙඳපොළක්. ඒ තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. අපට හැකියාව තිබෙනවා නම් අමෙරිකාව වෙත පනවා තිබෙන බද්ද සියයට බිංදුවට අඩු කිරීමට අපට ඉල්ලීමක් කරන්න පුළුවන් අප රට වෙත පනවා තිබෙන සියයට හතළිස්හතරක බද්ද අඩුම වශයෙන් සියයට දහය දක්වා අඩු කර ගැනීමට. එහිදී අපට පෙන්වා දීමට පුළුවන් අප රට අවුරුදු කිහිපයක දැඩි ආර්ථික අර්බුදයකින් පසු කෙමෙන් නැඟී සිටින රාජ්‍යයක් බව. ඒ තත්ත්වය තුළ අපට සිදු වන බලපෑම ගැන ඔවුනට පෙන්වා දිය යුතුයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ තීරණය අරගෙන තිබෙන්නේ අපේ රට ඉලක්ක කරගෙන නොවෙයි. පොදුවේ ලෝකයේ රටවල් රැසක් ඉලක්ක කරගෙනයි. ඒ නිසා අපට පුළුවන් වෙනම ඉල්ලීමක් කරන්න. පසුගිය කාලයේදීත් ඒ විදිහේ පොදුවේ ගත් තීරණවලට බැහැරව යළිත් සලකා බලා තීරණ ගැනීම් සිදුංවෙලා තිබෙනවා.
මෙහිදී අපේ රටේ තානාපති සේවය පිළිබඳව ඇතිවන්නේ කනගාටුවක්. අමෙරිකාව මේ විදිහේ තීන්දුවක් ගන්නවා කියලා සංඥා පසුගිය සති කිහිපය තුළ පළ වුණා. ඒ තත්ත්වය තුළ අපේ විදේශ සේවයේ නිලධාරීන් දැනගන්න ඕනෑ මේ තත්ත්වයට පෙර සිට සූදානම්ව සිටීමට. ඒ සඳහා තමයි විදේශ සේවයට තානාපති සේවයට අවශ්‍ය කරනු ලබන පහසුකම් සහ දීමනා ලබා දෙන්නේ. ඔවුන් මුලින් මේ පිළිබඳව සූදානම්ව අවශ්‍ය ඉල්ලීම් කළා නම් පෙර එකඟතාවකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබුණා.”
ගැටලුව විසඳීමේ සම්පූර්ණ වගකීම භාර ගන්නවා
– අරූන් හේමචන්ද්‍රා
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරූන් හේමචන්ද්‍රා මහතා සිය මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ සිය අදහස් පළ කර තිබේ.
“එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් මෑත කාලීනව නිකුත් කළ බදු නිවේදනය මඟින් අප රට ද ඇතුළත්ව දීර්ඝ කාලීනව ආර්ථික සබඳතා පැවැත්වූ රටවල් නව පීඩනයකට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය එක රැයකින් නිර්මාණය කරන දෙයක් නොවේ. එය පිළිබිඹු කරන්නේ අතීත ආර්ථික ප්‍රතිපත්ති උපදෙස් මඟින් හැඩැති ව්‍යුහය , නමුත් ආණ්ඩුවක් ලෙස, අපි එය විසඳීමේ සම්පූර්ණ වගකීම භාර ගන්නවා.”
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ තීරු බදු හේතුවෙන් පැනනැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් ද පත්කර තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ආයෝජන මණ්ඩලයේ සභාපති, විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ් රෆ් ඕමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජි මහත්වරු මෙම කමිටුව සඳහා පත්කර තිබේ. එසේ හෙයින් නිසි ආර්ථික වටිනාකම් ඇතිව ශ්‍රී ලංකාවට ආර්ථික වාසි ලැබෙන ආකාරයට ඔවුන් ඍජුව හා මැදිහත්ව කටයුතු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.