බතික් කර්මාන්තයේ වර්තමානයේ පවතින ගැටලු රැසක් හේතුවෙන් කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව කර්මාන්තයේ නියැලෙන්නෝ පවසති.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවත්වාගෙන යන මෙම කර්මාන්තය වඩාත් ප්‍රචලිතව ඇත්තේ නාත්තණ්ඩිය සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළය. කොස්වාඩිය, හාල්පන්විල, හත්තිතිය සහ මරදවැල්ල යන ප්‍රදේශවල බහුල වශයෙන් බතික් කර්මාන්තය ප්‍රචලිතව තිබේ. එම ප්‍රදේශවල කර්මාන්තයේ නියැළුණු සංඛ්‍යාව දෙදහසකට අධිකය. ඍජු හා වක්‍ර ලෙස රැකියා අවස්ථා විශාල ලෙස පැවතුණි. වර්තමානයේ එම ප්‍රදේශවල කර්මාන්තකරුවන් බොහෝ දෙනෙක් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකිව අතහැර දමා තිබේ.
මේ වන විට කර්මාන්තකරුවන් පනස් දෙනකු පමණ දුෂ්කරතා රැසක් මධ්‍යයේ බතික් කර්මාන්තය පවත්වාගෙන යති. එළඹෙන උත්සව සමයේ වෙනත් දිනවලදී තමනට ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි තරමට කර්මාන්තයේ විශාල ලෙස දියුණුවක් දක්නට තිබුණද මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.
මුද්‍රිත බතික් රෙදි හා සරොම් ඉන්දියාවෙන් ආනයනය කිරීම කර්මාන්තය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවයි බතික් නිෂ්පාදකයෝ පෙන්වා දෙන්නේ. බතික් නිර්මාණය සඳහා උපයෝගී කර ගන්නා යෙදවුම් අධික මිලක් වීමද තවත් එක් ගැටලුවකි.
බතික් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයින් කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත් මේ වන තෙක් කිසිදු පියවරක් නොගැනීම කර්මාන්තය කඩාවැටීමට ප්‍රධානම හේතුව බවද ඔවුහු පෙන්වා දෙති.
වර්තමාන රජය දේශීය කර්මාන්තයට විශාල ලෙස අවධානයක් යොමු කර නඟාසිටුවීමට කටයුතු කරන අවස්ථාවක බතික් කර්මාන්තය සම්බන්ධව කඩිනමින් අවධානය යොමු කර විසඳුම් ලබාදීමට කටයුතු කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.
“ඉස්සර අවුරුදු කාල සීමාව තුළ අපිට විශාල වශයෙන් බිස්නස් තිබුණා. ඒ කාලේ සේවය කරන අය දිවා රාත්‍රී වැඩ කරලත් ලැබෙන ඉල්ලුමට සැපයුම් ලබාදෙන්න හැකියාවක් නෑ. නමුත් වසර කිහිපයක සිට ඒ තත්ත්වය වෙනස් වුණා. මෙයට ප්‍රධාන හේතුව තමා ඉන්දියාවෙන්අපේ රටට මුද්‍රිත බතික් ගෙන ඒම. මේ හේතුවෙන් කර්මාන්තය දැඩි ලෙස කඩාවැටීමට ලක්වුණා. මේ සම්බන්ධව අපි කිහිප වතාවක්ම පැවති රජයන්වලට කිව්වා. නමුත් අද වන තෙක් විසඳුමක් නෑ. අපි පවතින රජයෙන් ඉල්ලන්නේ කඩිනමින් විසඳුමක් ලබාදෙන්න කියලා.” බතික් ශීල්පිනී අනුෂා සමරවීර මෙසේ පවසන්නට විය.
“බතික් කියන්නෙ කලාවක්. එදා මේ කලාවට ලොකු අගයක් තිබුණා. නමුත් ගොඩක් පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වෙමින් යන්නෙ. අමුද්‍රව්‍යවල මිල අධිකයි. විවිධ ප්‍රශ්න හමුවේ මේ කර්මාන්තය කරගෙන යන්නෙ. ගොඩක් අයට රැකියා දෙන්න විදිහක් නෑ. එදා විස්සක් තිහක් වැඩ කරපු තැන අද ඉන්නේ එක්කෙනයි දෙන්නයි. ” අනුර රංජිත් මෙලෙස පැවැසීය.
“අපේ නිෂ්පාදවලට ප්‍රධාන බාධකය තමයි ඉන්දියාවෙන් ගේන මුද්‍රිත බතික් රෙදි. නව රජය දේශීය කර්මාන්තය නඟාසිටුවන්න විශාල උත්සාහයක නිරත වෙනවා. මේ වැටිලා තියෙන කර්මාන්තය යළිත් හොඳ තත්ත්වෙකට ගන්න යමක් කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ අපි මේ කර්මාන්තයේ නියැළෙනවා. ඒ කාලෙ විශාල සේවකයන් පිරිසක් හිටියා. මේ අවට ගම්වල විශාල පිරිසක් බතික් නිෂ්පාදනය කළා. අද ගම්වල අයට තිබුණ රැකියා අවස්ථාවත් නැතිවෙලා ගිහිල්ලා.” ජනක ශ්‍රීකාන්ත පවසා සිටියේය.
මාරවිල සමූහ – මිහිර විජේසේකර